ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 10 දක්වා ඉහළට…

ශ්‍රී ලංකාවෙන් අලු‍තින් කොරෝනා වෛරසය ශරීරගත වුවන් 05 දෙනෙකු ඊයේ (14දා) වාර්තා වී ඇති අතර ,එම ආසාදිතයින්ගේ සංඛ්‍යාවත් සමගම මේ වන විට ශ්‍රී ලාංකිකයින් දස දෙනකුට රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබේ.
මෙම වෛරස් ආසාදිතයින්ගෙන් 05 දෙනකුම ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර ඔවුන්ගෙන් සිවු දෙනකු පොළොන්නරුවේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටියදී උණ ඇතුළු කොරෝනා වෛරස් ආසාදනයේ ලක්‍ෂණ මතු වීම නිසා රෝහල්ගත කර තිබේ. තවත් එක් ආසාදිතයකු ජර්මනියේ සංචාරය කර මෙරට පැමිණීමෙන් අනතුරුව කොරෝනා වෛරස් ආසාදිතයකු බව පරීක්ෂණවලදී තහවුරු කර ගෙන තිබේ.
කොරෝනා වෛරස් ආසාදිතයින් බවට ඊයේ තහවුරු කරගත් පස් දෙනා අතර කාන්තාවන් දෙදෙනකු සිටින අතර ,ඉන් එක් කාන්තාවක් ඉතාලියේ සිට මෙරට පැමිණ ඇත්තේ ඉකුත් 07 වැනිදාය. ඇය මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටී. තවත් 17 හැවිරිදි තරුණියකද මෙම වෛරස් ආසාදිතයකු බව පෙරේදා තහවුරු කර ගෙන ඇති අතර ,ඇය කලින් හඳුනාගනු ලැබූ කොරෝනා ආසාදිත කාන්තාවකගේ ඥාති දියණියක බව හඳුනාගෙන තිබේ.
මේ අතර කොරෝනා වෛරස් ආසාදිතයින් අතර සිටි ඉතාලියේ සිට පැමිණි දෙදෙනකු එම රටේ සිට පැමිණෙන විටත් කොරෝනා වෛරසයෙන් ආසාදිත වී සිටි බවට වාර්තා වේ. එම හේතුවෙන් එම දෙදෙනා සමීපයේ සිටි තවත් ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 16 දෙනකුද කොරෝනා ආසාදිත වීමේ අවදානමකට මුහුණ පා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අනාවරණය කළේය.
“මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට ඉතාලියේ මිලානෝ නගරයේදී මෙම වෛරසය ශරීරගත වී උණ ඇතුළු රෝග ලක්ෂණ පහළ වී තිබෙන බව වාර්තා වී තිබෙනවා. මොවුන් ඉතාලියේ සිට එන අතරතුර පැරසිටමෝල් ලබාගෙන ඇති නිසා ඔවුන්ගේ රෝග ලක්ෂණ කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන විට යටපත් වී තිබීමෙන් ඔවුන් කොරෝනා ආසාදිතයින් බව වෛද්‍යවරුන්ට හඳුනාගැනීමට නොහැකි වී තිබෙනවා, අනික් අතට මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළේදී නිරෝධායනයට ලක් වීම ප්‍රතික්ෂේප කරමින් උද්ඝෝෂණයේ යෙදිලා තියෙනවා”‍යැයි වෛද්‍ය ජාසිංහ මහතා කියා සිටියේය.
දැනට මෙම ආසාධිතයන් දෙදෙනා රෝහල්ගත කර සිටින අතර ඔවුන් සමග සමීපව සිටි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ඉතාලියේ සිට පැමිණි 16 දෙනා එහි සෙසු නිරෝධායනයට ලක් කර සිටින පිරිසෙන් වෙන් කර තැබීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇති බව වෛද්‍ය ජාසිංහ වැඩිදුරටත් කියා සිටියේය.