කොරෝනා ව්‍යාප්ත වූ රටවල් 11කින් මගීන් 1716ක් ශ්‍රී ලංකාවට ඇවිත්

කොරෝනා වෛරසය තදින් ව්‍යාප්තව පවතින රටවල් 11 කින් අද (15දා) වනවිට ගුවන් මගීන් 1716 ක් ශ්‍රී ලංකාව පැමිණ ඇති බවත් ඔවුන් දැනට පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් වෙත යොමු කළ බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.
ඉරානය, ඉතාලිය ,දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය සහ ඔස්ටි්‍රයාව යන රටවලින් මෙම මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර ඔවුහු මේ වන විට පොළොන්නරුව කන්දකාඩු, මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, දියතලාව සහ කහගොල්ල යන ස්ථානවල පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.
මේ අතර කුවේට් සහ බහරේන් සිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබුණද, ඒ පිළිබඳව ලිඛිත උපදෙස් මේ වනතුරු ගුවන් තොටුපළ වෙත ලැබී නොමැති බවද වාර්තාවේ. කෙසේ වෙනත් මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් මගීන් පිළිබඳ ඔවුන් පැමිණි ගුවන් යානය අසලටම ගොස් දැඩි පරික්ෂාවක් සිදු කිරීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, ගුවන් තොටුපළ වෙනත් නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් පිරිසක් යොදවා ඇතැයිද ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂවරයා පැවසීය.