පළාත් සංචරණ සීමා කඩ කළහොත් වැඩ වරදියි

දීර්ඝ නිවාඩුවක් යෙදෙන මෙම සති අන්තයේදී නිරෝධායන නීති කඩකරමින් ජනතාව කටයුතු කළහොත් පසුගිය සමයේදී පැනවූ සීමා කිරීම්වලට ජනතාවට යළි මුහුණදීමට සිදුවනු ඇතැයිද එමෙන්ම එම සති අන්තයේදී නිරෝධායන මෙහෙයුම් සඳහා අමතර පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මේ වන විට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 51,581 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඉන්  පුද්ගලයින් 44,000කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව සඳහන් කළ පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා තවත් පුද්ගලයින් 7,000කට පමණ නඩු පැවරීමට ඇති බව කියා සිටියේය.

ඔවුන් සියලු දෙනා ඇප මත මුදාහැර ඇති බැවින් දැනුම්දුන් දිනකදී අධිකරණයේ පෙනී සිටිමට වගබලාගත යුතු බව ද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.