ලෝක ටෙස්ට් ශූරතාවට නව ලකුණු ක්‍රමයක්

ටෙස්ට් තරග ජයග්‍රහණයකට ප්‍රසාද ලකුණු 12ක් ලකුණු සමවීමකදී ප්‍රසාද ලකුණු 06ක් සහ ජය පරාජයෙන් තොරවීමකදී ප්‍රසාද ලකුණු 04ක් 

ලෝක ටෙස්ට් ශූරතාව සඳහා නව ප්‍රසාද ලකුණු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) පියවර ගෙන තිබේ. මේ අනුව ටෙස්ට් තරග ජයග්‍රහණයකට ප්‍රසාද ලකුණු 12ක්ද ලකුණු සමවීමකදී ප්‍රසාද ලකුණු 06ක්ද ජය පරාජයෙන් තොරවීමකදී ප්‍රසාද ලකුණු 04ක්ද ලබාදෙන බව අයිසීසීය නිවේදනය කරයි.

මෙම නව ප්‍රසාද ලකුණු ක්‍රමවේදය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවේ දෙවැනි අදියර එසේත් නොමැති නම් 2021-23 තරග කාලය තුල ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව ටෙස්ට් තරගාවලියකට පවතින තරග ප්‍රමාණය නොසලකා සෑම ටෙස්ට් තරගයකටම සමාන ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් පිරිනමන බව අයිසීසී නිවේදනයේ සඳහන් වේ.

මෙහිදී තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලියකට ප්‍රසාද ලකුණු 24ක්ද තරග 03කින් යුත් ටෙස්ට් තරගාවලියකට ප්‍රසාද ලකුණු 36ක්ද තරග 04කින් යුත් ටෙස්ට් තරගාවලියකට ප්‍රසාද ලකුණු 48ක්ද තරග 05කින් යුත් ටෙස්ට් තරගාවලියකට ප්‍රසාද ලකුණු 60ක්ද යනාදී වශයෙන් මෙහිදී පිරිනැමීමට නියමිතය.

එමෙන්ම ටෙස්ට් තරග ජයග්‍රහණයකට ප්‍රසාද ලකුණු 12ක් හිමිවනවිට එහි ප්‍රසාද ලකුණු සාමාන්‍ය සියයට 100ක්ද ලකුණු සමවීමකදී ප්‍රසාද ලකුණු 06ක් හිමිවනවිට එහි ප්‍රසාද ලකුණු සාමාන්‍ය සියයට 50ක්ද ජය පරාජයෙන් තොරවීමකදී ප්‍රසාද ලකුණු 04ක් හිමිවනවිට එහි ප්‍රසාද ලකුණු සාමාන්‍ය සියයට 33.33ක්ද ලබාදෙන බව අයිසීසීය නිවේදනය කරයි.

මීට පෙර ලෝක ටෙස්ට් ශූරතා පළමු අදියරේ ප්‍රසාද ලකුණු ලබා දීමේදී තරගයක් සඳහා සමාන ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබා නොදුන් අතර, තරගාවලියක් සඳහා සමාන ලකුණු සංඛ්‍යාවක් (ප්‍රසාද ලකුණු 120ක්) ලබා දීමට කටයුතු කර තිබුණි. එහිදී එක් තරගයකට හිමි වන ප්‍රසාද ලකුණු ප්‍රමාණය තීරණය කෙරුණේ අදාළ තරගාවලියට අයත් තරග සංඛ්‍යාව අනුවයි.

කෙසේ වෙතත් දෙවැනි අදියරේදී ප්‍රසාද ලකුණු සටහන සකස් වනුයේ ඒ ඒ කණ්ඩායම් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත නොව ඊට අදාළ ප්‍රතිශතය අනුව වීම සුවිශේෂිය.

එමෙන්ම පළමු අදියරේදී මෙන්ම දෙවැනි අදියරේදීද කණ්ඩායම් නවයම සිය මවුබිමේදී තරගාවලි 03කට සහ මවුබිමෙන් පිටත තරගාවලි 03කට (සමස්ත තරගාවලි 06ක්) ක්‍රීඩා කිරීමට නියමිතය.

මේ අතර අයිසීසී ටෙස්ට් ශූරතා දෙවැනි අදියරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරග 13ක් හිමිව තිබේ. ඔවුන් ඔස්ට්‍රේලියාවට, පාකිස්තානයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මෙරටදී ටෙස්ට් තරග 02 බැගින් වූ තරගාවලි 03කට ක්‍රීඩා කිරීමට නියමිතය. මීට අමතරව බංග්ලාදේශයේදී සහ නවසීලන්තයේදී තරග 02 බැගින් වන ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන්දියාවේදී පමණක් තරග 03කින් යුත් ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම අයිසීසී ටෙස්ට් ශූරතා දෙවැනි අදියරේදී, ප්‍රබල එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමග කිසිදු තරගයක් ක්‍රීඩා නොකරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතාවේ දෙවැනි අදියරේදී වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් හිමිව ඇත්තේ එංගලන්තයටයි. ඔවුනට හිමිව ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව වනුයේ 22කි.

අයිසීසී ටෙස්ට් ශූරතා දෙවැනි අදියරේදී ඉන්දියාව තරග 19ක්ද, ඔස්ට්‍රේලියාව තරග 18ක්ද, දකුණු අප්‍රිකාව තරග 15ක්ද ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, වත්මන් ලෝක ටෙස්ට් ශූරයින් වන නවසීලන්තයට හිමිව ඇත්තේ ටෙස්ට් තරග තරග 13ක් පමණක් වීම සුවිශේෂිය. කෙසේ වෙතත් මෙම ආකෘතිය සම්බන්ධයෙන් සහ ක්‍රීඩා කරන ටෙස්ට් තරග ප්‍රමාණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවසන් තීන්දුව ගෙන තිබුණේ 2018 වසරේදීය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තයට අමතරව පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වලටද හිමිව ඇත්තේ ටෙස්ට් තරග 13ක් පමණයි. බංග්ලාදේශය ටෙස්ට් තරග 12ක් පමණක් ක්‍රීඩා කරන අතර, තරග 02 බැගින් යුත් තරගාවලි 06ක් ක්‍රීඩා කරන එකම රට වන්නේද බංග්ලාදේශයයි.

අයිසීසී ටෙස්ට් ශූරතා දෙවැනි අදියරේදී පන්දුවාර යැවීමේ වේගය නිසි පරිදි පවත්වා ගැනීමට නොහැකි වූ අවස්තාවලදී නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයකටම එක් දඩුවම් ලකුණක් බැගින් ක්‍රියාත්මක වීම සුවිශේෂිය. එය අදාළ කණ්ඩායම හිමි කර තිබෙන ප්‍රසාද ලකුණුවලින් කපා දැමීමටද තීරණය කර තිබේ.

අයිසීසී ටෙස්ට් ශූරතා දෙවැනි අදියර එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේදී පැවැත්වීමට නියමිත තරග 05කින් යුත් ටෙස්ට් තරගාවලියෙන් ආරම්භ කිරීමට නියමිතය.

එළඹෙන අගෝස්තු මස සිට 2023 වසරේ ජූනි මස දක්වා අයිසීසී ටෙස්ට් ශූරතා දෙවැනි අදියර ක්‍රියාත්මක වේ.