වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය කළ මේජර් ජෙනරාල්ට ඇප

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය කරමින් එක් වනජීවී නිලධාරියකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි එක්වැනි සේනාංකයේ සේනාධිපති, මේජර් ජෙනරාල් මොහාන් රත්නායක යන අය රුපියල් ලක්ෂ 05ක් වටිනා ශරීර ඇප දෙකක මත මුදාහරින ලෙස කැකිරාව දිසා විනිසුරු මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා ඊයේ (01දා) නියෝග කළේය.
2022 වසරේ පෙබරවාරි මස 22 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා මේජර් ජෙනරාල්වරයාට නියෝග කළේය.
ඉකුත් 23 වැනිදා රාත්‍රියේදී මින්නේරිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ යුද හමුදාවට අයත් වාහන දෙකක් වනජීවී නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට යාම මෙම ගැටුමට පාදක වී තිබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ භාරකරු භාතිය මඩුගල්ලේ සහ වන සත්ත්ව අඩවි ආරක්ෂක එම්.ඩබ්ලිව්.කේ. වාසල යන නිලධාරීන් හබරණ පොලීසියට පැමිණිලි 02ක් ඉදිරිපත් කිරීමෙන් පසු පොලීසිය අදාළ සිද්ධිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී.
අදාළ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා ඇතුළු හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා ලෙසට කැකිරාව දිසා විනිසුරු සමන් වැරණියගොඩ මහතා හබරණ පොලීසියට නියෝග කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි එක්වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ඊයේ (01දා) උදෑසන හබරණ පොලිස් ස්ථානයට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන කැකිරාව අධිකරණයට ඉදිරිපත් කළේය.