‘මිස්ට ටුවෙන්ටි පසන්ට්’ට විදේශීය පුහුණුකරුවන්ගෙන් කොමිස්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට විදේශීය පුහුණුකරුවන් ගෙන්වීමේදී එක්තරා කමිටුවක ලොක්කෙක්ට සියයට 10 සහ 20 බැගින් කොමිස් මුදල් හිමිවන බව අනාවරණය වේ.
මෙම කමිටු ලොක්කා 2016 වසරෙන් පසුව පැවති සමහර ක්‍රිකට් පරිපාලනයන්හි විවිධ තනතුරු දරා ඇති අතර, මේ වනවිට ඔහු විදේශයන්ගෙන් ආනයනය කර ඇති විදේශීය පුහුණුකරුවන් ගණන (2016 වසරේ සිට) 10කට වැඩිය. ඒ පැමිණි සියලුම විදෙස් පුහුණුකරුවන්ගෙන් මොහු කොමිස් මුදලක් අයකරගෙන ඇති බව වාර්තා වේ. ඒ ගෙන්වන ලද සමහර පුහුණුකරුවන් අදාළ රටේ පළමුපෙළ තරගවත් ක්‍රීඩා කර නොමැති අය වන අතර, ඔවුනට මිලියන ගණන් වැටුප් ගෙවීමෙන් මෙරට ක්‍රිකට් අගාධයට ගොස් ඇති බව ක්‍රිකට් ප්‍රවීණයෝ පවසති.
ශ්‍රී ලංකාවේ විශිෂ්ට ගණයේ පුහුණුකරුවන්ට මේ නිසාම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කිරීමේ අවස්තාව අහිමිව ඇති අතර, රංගන හේරත්, රුවන් කල්පගේ, චම්පක රාමනායක, නවීඩ් නවාස්, මාරියෝ විල්ලවරායන් වැනි පුහුණුකරුවන් විදෙස් රටවලට ඔවුනගේ දායකත්වය ලබාදීමට ප්‍රමුඛතම හේතුව මෙම කමිටු ලොක්කාගේ ක්‍රියා කලාපයයි.
මේ වනවිට ක්‍රිකට් සම්බන්ධ සියලු තීරණ ගන්නා මෙම කමිටු ලොක්කා කලක් ප්‍රසිද්ධව සිටියේ ‘මිස්ට ටෙන් පසන්ට්’, ‘මිස්ට ටුවෙන්ටි පසන්ට්’ යන නම්වලිනි.
වත්මන් ක්‍රිකට් පරිපාලනයට පැවරී ඇති ක්‍රිකට් ගොඩනැංවීමේ කර්තව්‍යය ඔවුනට ලබා නොදී මෙම කමිටු ලොක්කා ඔහුගේ අතට ගෙන ඇති අතර, ඔහු ගෙන්වූ මිකී ආතර්, ග්‍රාන්ට් ෆ්ලවර්, ටොම් මූඩි වැනි විදෙස් පුහුණුකරුවන්ගෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වන කිසිදු සෙතක් නොමැති බව පෙනීයයි.
එහෙත් කනගාටුවට කරුණ නම් මේ සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යවරයාද මුනිවත රැකීමයි.