වරාය පොලීසියේ රඳවා සිටින ගුරුවරුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්ට බාධා

ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05දා) පෙරවරුවේ එම පරිශ්‍රයට පැමිණි අතර එහිදී වරාය පොලිසිය  ඊට බාධා කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ නීතිඥයන් පිරිසක් සමග එම ගුරුවරුන්ගේ සුවදුක් බැලීම සඳහා පැමිණි අවස්ථාවේදී එම පරිශ්‍රය තුළට යාමට නොහැකි බවට පොලිස් නිලධාරීන් සහ වරාය පොලිසිය ඊට බාධා කරනු ලැබීය.

එහිදී විපක්ෂනායකවරයා විනාඩි විස්සකට අධික කාලයක් එහි රැඳී සිටි අතර උසස් නිලධාරීන් ගෙන් විමසා හෝ තමන්ට එම ගුරුවරුන් ගේ සුවදුක් විමසීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.

රටේ විපක්ෂ නායකයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, නීතිඥවරුන්ට පොලිසිය තුළ යෑමට අවසර නැත්නම් රටේ තිබෙන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී රැස්ව සිටි මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරුන් පිළිබඳ සොයා බැලීමට පොලිසිය තුළට යාමට ඉඩ නොදීමෙන් තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වූ බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඡායාරූප-ලංකාදීප වෙබ් අඩවියෙනි