වාහන ආනයනයේදී රජයට කෝටි 300ක පාඩුවක්

ස්මාර්ට් කැබ් රථ 3000ක් ආනයනයේදී රජයට රුපියල් කෝටි තුන්සියයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්වේ.

මේ පාඩුව සිදුවී ඇත්තේ එම වාහනවලින් අය කරගත යුතු බදු මුදල් ප්‍රමාණයට වඩා අඩුවෙන් බදු මුදල් ශ්‍රී ලංකා රේගුව විසින් අයකර ගනු ලැබීම නිසා යැයිද එම වාර්තාවේ දැක්වේ.

මෙයට අමතරව වෑන් රථ හතළිස් හතරක් 2010-2019 අතර කාලයේදී අඩු බදු ප්‍රමාණයක් ගෙවිය යුතු විශේෂිත කාර්යය වෑන් රථ ලෙස ආනයනය කර පසුව ඒවා මගී හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීම නිසාද අවම වශයෙන් රුපියල් කෝටි එකසිය තිහකට ආසන්න බදු ප්‍රමාණයක් රජයට අහිමි වී ඇතැයි කෝපා කමිටු වාර්තාව සඳහන් කරයි.

ඩබල් කැබ් මාදිලි‍යේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර ඇති ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව අය කරගෙන ඇත්තේ සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණ බවත් මේ අනුව මෙම එක් වාහනයකින් රේගුව අය කරගෙන ඇති බදු මුදල රුපියල් ලක්ෂ 10ක් පමණක් බවත් කෝපා කමිටුව පවසයි.

මේ අතර සමහර වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවීමෙන් රටට විශාල බදු ආදායමක් වාර්ෂිකව අහිමි වන බවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පෙන්වා දෙයි .

අඩු බදු ප්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන රැසක් පසුගිය කාලයේදී ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇතැයිද එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ අතර මහජන ඇමතුම් උපකරණ සවිකළ විශේෂ කාර්යය වාහන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 1.5ක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ වාහනයක් රේගුව නිසි පරිදි මගී ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් අහිමිව ගොස් ඇතැයිද කෝපා කමිටුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගුවේ විශේෂ භාන්ඩ සංයෝජිත වර්ගීකරණ අංක 8705 යටතේ (Harmonized System Code – HS Code) නිෂ්කාශනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීමේදී විශේෂිත අංකයක් යටතේ (PZA) ලියාපදිංචි කළ යුතු බවට එම කමිටුව නිර්දේශ කර ඇත.