ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සංචාරකයින්ට එක්සත් අරාබියෙන් තහනමක්

නව කොවිඩ් ප්‍රභේදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සංචාරකයින්ට නැවත දැනුම් දෙන තුරු එරටට ඇතුළු වීම අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර ඇත.

එමීර් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ඉකුත් 19 වැනිදා නිකුත් කළ නවතම චක්‍රලේඛයකට අනුව මෙම තහනම බලපැවැත්වෙන බව එරට අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඇෆ්ඝනිස්ථානය , ඉන්දියාව බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය , කොංගෝ ජනරජය ,ඉන්දුනීසියාව , ලයිබීරායව , නැමීබියා ,නයිජීරියා ,උගන්ඩා ,සියරා ලියෝන් ,දකුණු අප්‍රකිාව , වියට්නාමය සහ සැම්බියාව යන රටවල සංචාරකයින් සදහා මෙම තහනම බලපැවැත්වෙන බවද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

එම රටවල් වල සීඝ්‍රයෙන්  පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයන් ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් එරට රජය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු  ඉහත කී රටවල ගත කර ඇති සියලු සංචාරකයින්ට එරට වෙත පැමිණීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර , මෙම රටවල දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍ය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එමීර් සිවිල් ගුවන්සේවා අධිකාරිය නිකුත් කළ චක්‍රලේඛයේ සදහන් වන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

නමුත් ඒමීර් රාජ්‍යයේ මෙම තීරණය හේතුවෙන් එරට සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අපෙක්ෂාවෙන් හා මේ දිනවල ලංකාවේ නිවාඩු දින ගබා ගෙන ඇති ලාංකික ශ්‍රමිකයින් බහුතරයක් අසීරුතාවට පත් ව සිටින බවද වාර්තා වේ.

මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යය මගින් ලාංකිකයින්ට නැවත එරටට පැමිනීම සදහා පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් එරට විදේශ සබදතා හා ජාත්‍යන්තර සහයෝගතා අමාත්‍යාංශය  සමග නිරතුරුවම සකාච්ඡා කරන බවද අබුඩාබි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.