ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් කෝටි 215ක් හදිසියේම ණයට ගනියි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට කෙටිකාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ,රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.
ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 40ක්ද ,බංග්ලාදේශයෙන් ඩොලර් කෝටි 25ක්ද ,චීනයෙන් ඩොලර් කෝටි 150ක්ද මේ යටතේ ලබා ගැනීමට නියමිතය.
ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ගන්නා ඩොලර් කෝටි 65ක ණය මුදල මුදල් හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට තීරණය කර ඇත .
ඉන්දියාවෙන් ලබාගෙන ඩොලර් කෝටි 40ක හුවමාරු ණය පහසුකම මාස නවයකින් ගෙවීමේ පදනම යටතේ අදියර දෙකකින් ලබාගැනෙන අතර,බංග්ලාදේශයෙන් ලැබෙන ඩොලර් කෝටි 25ක හුවමාරු ණය පහසුකම අදියර තුනකින් ලබාගැනීමට නියමිතය.
චීනයෙන් ලබා ගැනෙන ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණය මුදල දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
මේ අතර, මේ මාසය තුළ කල් පිරුණු විදේශ ණය ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ගෙවීමට නියමිතව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි .
ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණ දක්වා මේ වන විට අඩු වී ඇති අතර ,එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සඳහා පමණක් බව රජය පසුගියදා ප්‍රකාශ කළේය .