හෙද ඉල්ලීම් 07න් 05ක් විසඳයි

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසඳුම් ලබාදීමට පියවර ගෙන තිබේ. සෙසු ඉල්ලීම් 02ට ඉදිරි අයවැයෙන් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව හෙද සරසවිය ආරම්භ කිරීම, යහපාලන රජය සමයේ අත්හිටුවූ මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම, අත්හිටුවා ඇති 3 ශ්‍රේණියෙන් 2 ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා 2 ශ්‍රේණියෙන් 1 ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම, රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම සහ දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30 ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම යන ඉල්ලීම් පහ වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේය.
රුපියල් දසදහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් සියයට එකක අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබේ.