ශ්‍රී ලංකා-ඉන්දීය ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතුව මෙන්න ක්‍රිකට් සභාපති ෂම්මි තරගය නරඹන්න පාපන්දු සභාපති සහ පැසිපන්දු සභාපති ඇතුළු 100කට වැඩි පිරිසක් ගෙන්නලා 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු විස්සයි20 තරගය නැරඹීම සඳහා 100කට වැඩි පිටස්තර පුද්ගලයින් රැසක් ක්‍රීඩාංගනයට පැමිණ ඇති බවත් එමගින් ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතුවී ඇති බවත් වාර්තා වේ.
එම පැමිණි පුද්ගලයින් අවම වශයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ක්‍රීඩාංගණයේ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් කතිකාවක් මතුව ඇත. ඔවුන් තරගය නරඹන විට මුව ආවරණ පැළඳ නොසිටීම සහ ඔවුනට තරගය ක්‍රීඩාංගණයට විත් නැරඹීමට අවසර දුන්නේ කවුරුන්ද යන්න ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. විශේෂයෙන්ම ඔවුන් ක්‍රීඩකයින්ට සමීපව කටයුතු කර ඇති බව පැහැදිලි වන අතර, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසර හිමිවුයේද යන්න ඇත්තේ ගැටලුවකි.
මෙවැනි නොසැලකිලිමත් පිරිස් ක්‍රීඩාංගණයට පැමිණීම සහ ඔවුන් කටයුතු කළ ආකාරය එනම් වගකීම් විරහිත බව හේතුවෙන් ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතුවී ඇතැයි මාධ්‍යවේදීහු චෝදනා කර සිටිති. මීට අදාලව එක්නිදසුනක් ලෙස ක්‍රීඩාංගණයට විත් තරගය නැරඹු එක් පුද්ගලයෙක් ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා වන අතර, ඔහු සමග සිටි අනෙක් පුද්ගලයාද තරග නැරඹීමට හිමිකම් කීවේ කෙසේද යන්න ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. එමෙන්ම ඔවුන් මුහුණු ආවරණ පැළඳ නොසිටියේ ඇයිද යන්නත් ඔවුනට කිසිදු පරීක්ෂණයක් මෙතෙක් සිදු නොකර තිබීමද විමතිය දනවන්නකි.
මෙම තරගය ආවරණය කරන මාධ්‍යවේදීන්ට පවා පීසීආර් පරීක්ෂණ 02ක් සහ තරගය පැවැත්වෙන දිනයේ ඇන්ටිජන් පරීක්ෂාවක් අනිවාර්ය කර තිබූ අතර, මෙම පුද්ගලයින් ක්‍රීඩාංගනයට පැමිණ ඇත්තේ එම පරීක්ෂණ නිසි පරිදි සිදු කිරීමෙන්ද යන්න ඇත්තේ ගැටලුවකි.


මීට අමතරව ශ්‍රී ලංකා-ඉන්දීය පළමු විස්සයි20 තරගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර එම ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටියේ සේවය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොවිඩ්-19 ආසාධනය වීම හේතුවෙන් මාධ්‍ය කුටියේ මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබුණි. ඒ එම සේවකයාට සිදු කළ ‘ඇන්ටිජන් පරීක්ෂාවෙන්’ (ප්‍රතිදේහ පරීක්ෂණයේදී) ඔහුට කොවිඩ්-19 ආසාධනය වී ඇති බව තහවුරු වී තිබුණි.
මේ ආකාරයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට කොවිඩ්-19 පැමිණීම සම්බන්ධයෙන් සහ ඉන්දීය ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ද එම අවදානමට තල්ලු කිරීමේ වගකීම ගන්නේ කවුරුන්ද?
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු විස්සයි20 තරගය නැරඹීමට පැමිණි 100කට වැඩි පිරිස සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ බලපෑවේ නැතිද යන්න ඇත්තේ ගැටලුවකි.
එමෙන්ම වත්මන් ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පාපන්දු සභාපති ජස්වර් උමාර්ට සහ පැසිපන්දු සංගමයේ සභාපති ඒලියන් ගුණවර්ධනට තරගය නැරඹීමට ක්‍රීඩාංගණයට ආරාධනා කරන්නේ කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමනය නොකරමිනි. ඔවුන් ක්‍රීඩාංගණය තුළදී මුව ආවරණ නොපැළඳ සිටීමද සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමකි. මේ සඳහා මෙරට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් විමසන්නෙමු.
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්යා හට කොවිඩ්-19 ආසාධනය වීම මේ ආකාරයෙන් පිටස්තර පුද්ගලයින් ක්‍රීඩාංගනයට ඇතුළු කිරීමේ එක් වගකීම් විරහිත ක්‍රියාවක් වන අතර, එමගින් ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතුවීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොමැති වීම කනගාටුවට කරුණකි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් සභාපතිවරයාගේ බූදලයක් නොවන අතර, එය රැකගැනීම අප සියලු දෙනාගේ යුතුකමක් වන බවද ඔවුනට සිහි කැඳවීමට කැමැත්තෙමු.
ෂම්මිලා මෙලෙස වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ද ජීවිත අවදානමකට තල්ලු කර තිබේ. එහෙත් ගුරුවරුන්ව කුදලාගෙන යන්න බලපෑව නිරෝධායන නීති මෙම වගකීම් විරහිත නිලධාරීන්ට බලපාන්නේ නැතිද යන්න අවසන් වශයෙන් විමසා සිටිමු.