19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන පුහුණුවේදී පළාත් පුහුණුකරුවෙකු පාසල් ක්‍රීඩකයෙකුගේ කන පැලෙන්න පහරදීලා

වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම වෙනුවෙන් මහනුවරදී පැවති පුහුණු කඳවුරකදී බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයට අනුබද්ධ පුහුණුකරුවෙකු පාසල් ක්‍රීඩකයින් ඉදිරියේ එක් පාසල් ක්‍රීඩකයෙකුගේ කන පැලෙන්න පහරදී ඇති බවත් ඉතා අශෝභනව හැසිරී ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම මෙම අදාළ පුහුණුකරුවා පහරදුන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා මීගමුව ප්‍රදේශයේ පාසලක ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර, මෙයට නිසි විනය ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බව අනාවරණය වේ.

මීට අමතරව පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වමින් සිටින පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේම පන්දු යැවීමේ ඉරියව් කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව මෙම පුහුණුකරුවා වෙනස් කර ඇති බවත් ඔහුගේ හිතවතුන්ගේ ක්‍රීඩකයින්ට පමණක් අදාළ පුහුණුවීම්වලදී අවස්ථාව ලබාදෙන බවත් පාසල් රැසකින් චෝදනා එල්ල වී ඇත.

මෙම තේරීම් තරගවලදී පළාත් තේරීම් කමිටු නිලධාරීන් (Provincial Selectors)  එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 13 දෙනෙකු බැගින් කණ්ඩායම් 05කට ක්‍රීඩකයින් නිර්දේශ කර තිබියදී විදේශයකින් මෙරටට ආනයන කළ එක් විදෙස් පුහුණුකරුවෙකුගේ තනි තීරණය මත එම ක්‍රීඩකයින් සංඛ්‍යාව කණ්ඩායමකට 15 බැගින් වෙනස් කර තිබේ. මීට අමතරව එම කණ්ඩායම් පහේ පුහුණුකරුවන්ට තේරීම් තරග පැවැත්වෙන කාලය තුළ ක්‍රීඩකයින්ට උපදෙස් ලබාදීම තහනම් කර ඇති අතර, ක්‍රීඩකයින්ට පුහුණුකරුවන් සමග සාකච්ඡ කිරීමද තහනම් කර ඇති බව හෙළිවේ. කණ්ඩායම් පහේ පුහුණුකරුවන්ට අදාළ කණ්ඩායම සමග නේවාසිකව කටයුතු කිරීමට අවස්ථාව ලබාදී නොමැති අතර, මෙවැන්නකින් ක්‍රීඩකයින්ගේ උපරිමය ලබාගත හැකිදැයි පාසල් නියෝජිතයින් ප්‍රශ්න කර සිටියි.

මෙම පුහුණුකරුගේ අශෝභන ක්‍රියා කලාපය උසස් කුසලතා තාක්ෂණික අංශයේ පුහුනුකරුවන්ගේද දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබු බව අනාවරණය වේ. එමෙන්ම සමහර කණ්ඩායම්වල දක්ෂ ක්‍රීඩකයින්ට දක්ෂතා දැක්වීමට අවශ්‍ය තරම් තරග ලබාදී නොමැති බවත් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයට අනුබද්ධ පුහුණුකරු මීට වගකිව යුතු බවත් ඔවුහු චෝදනා කර සිටිති. මෙහිදී බොහොමයක් තුන් ඉරියව් ක්‍රීඩකයන්ට පිතිකරණයේ නියැලීමට අවශ්‍ය අවස්තාව නොලැබුණු බවටද චෝදනාවක් වෙයි.

මීට අමතරව බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයට අනුබද්ධ පුහුණුකරුගේ හොඳම යහළුවාගේ පුත්‍රයා කඳාන ඩි’ මැසනොඩ්  පාසලේ පිට දඟ පන්දු යවන්නෙකු වන අතර, ඔහුට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මෙම පුහුණුකරුවා අවස්ථාව ලබාදී ඇතැයිද චෝදනාවක් වේ.