“සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල – 2021“ වසරේ ක්‍රීඩා සාහිත්‍ය‍වේදියා සුසිල්. සබුද්ධි රන් සම්මානය නීල්ට. දිනේෂ් සහ දුලාන්ගේ දස්කම් වලටත් ඇගයීමක්.

සබුද්ධි සාහිත්‍ය කවය විසින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද “සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන -2021“ උළෙලේදී
වසරේ ක්‍රීඩා සාහිත්‍ය‍වේදියා ලෙස ”Volleyball Legends Ceylon to Sri Lanka” ග්‍රන්ථය රචනා කළ ශ්‍රී ලංකා
වොලිබෝල් සම්මේලනයේ හිටපු ලේකම් සුසිල් රණසිංහ මහතා බන්දුල වර්ණපුර අනුස්මරණ සම්මානයෙන් පිදුම්
ලැබූ අතර ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන යෝගානන්ද විජේසුන්දර අනුස්මරණ “සබුද්ධි රන් සම්මානය“
හිමිකර ගත්තේ ප්‍රවීණ ලේඛකයෙකු වන නීතිඥ නීල් විජේරත්න මහතාය.

ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා සංවර්ධන
දෙපාර්තමේන්තුවේ නිල සහයෝගීතාව සමඟ පසුගිය සිකුරාදා (3දා) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මෙම 2වැනි
සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්විනි. එහිදී වසරේ ක්‍රීඩා ශාස්ත්‍රීය කෘතියට හිමි සම්මානය “ක්‍රිඩාව හා
සමාජ චල්‍යතාව“ කෘතිය රචිත ආචාර්ය සමන්තා නානායක්කාර මහත්මියටත් වසරේ ක්‍රීඩා විවිධ විෂයික කෘතියට
හිමි සම්මානය “ ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් පුරාණය“ නම් කෘතිය රචිත සරත් ජයසිංහ මහතාටත් හිමි වූ අතර වසරේ
ක්‍රීඩා සාහිත්‍ය ප්‍රකාශන ආයතනය ලෙස සම්මානය ලබා ගත්තේ සඳකඩ පහන ප්‍රකාශන ආයතනයයි.

ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් පවැති මෙම සම්මාන උළෙලේදී වසරේ නව මාධ්‍යයට හිමි සම්මානය “thepapare.com“ වෙබ් අඩවිය විසින් නොකඩවා දෙවැනි වරටත්
අත්කර ගනිද්දි මෙම වසරේදී හඳුන්වා දුන් වසරේ ක්‍රීඩා සාහිත්‍ය ඡායාරූපයට හිමි සම්මානය සමීර පීරිස් විසින් දිනා
ගන්නා ලදී. තවද “අරුණ“ පුවත්පත වසරේ ක්‍රීඩා සාහිත්‍ය දිනපතා පුවත්පතට පිරිනැමෙන සම්මානය දෙවැනි වරටත්
හිමිකර ගන්නා විට වසරේ ක්‍රීඩා සාහිත්‍ය සති අන්ත පුවත්පතට හිමි සම්මානය පිරිනමන ලද්දේ “ඉරිදා ලංකාදීප“
පුවත්පතටයි.
මුද්‍රිත මාධ්‍ය අංශයෙන් එසේ සම්මාන හිමිකර ගනිද්දී විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වසරේ ක්‍රීඩා සාහිත්‍ය ගුවන් විදුලිය
ලෙස “ලක්හඬ“ රේඩියෝවත් වසරේ ක්‍රීඩා සාහිත්‍ය රූපවාහිනිය ලෙස “ස්වාධීන රූපවාහිනිය“ ත් සම්මානයට පාත්‍ර
විය. ගුවන් විදුලියක් ලෙස “ලක්හඬ“ එසේ දෙවැනි වරටත් “සබුද්ධි සම්මානය“ ගත් බවට හඬ නගද්දී ශ්‍රී ලාංකීය ක්‍රීඩා
ඉතිහාසයේ පළමු වතාවට ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂණයන්හි නියැළෙන විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථින් ඇගයීමට “සබුද්ධි“
සංවිධායක මණ්ඩලය අමතක කර තිබුණේ නැත.
ඒ අනුව සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සුරාජ් චන්දන අරන්ගල සහ ප්‍රෙමේෂ් තොටවත්ත යන මහත්වරුන්
වසරේ ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂණ නිබන්ධනයට අදාළ සම්මානයට හිමිකම් කී අතර වසරේ ඉහළම ක්‍රීඩා දක්ෂතාවට
ලබා දෙන වසරේ සබුද්ධි ක්‍රීඩා රන් සම්මානයට හිමිකම් කිවේ පසුගිය ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේදී
පිළිවෙලින් රන් හා ලෝකඩ පදක්කම් දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් යන මහත්වරුන්ටය.
කෙසේ වෙතත් ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්
සබුද්ධි බුද්ධි මණ්ඩලය වසරේ විද්‍යාත්මක කෘතිය, වසරේ ක්‍රීඩා සාහිත්‍ය සිනමාව සහ වසරේ ක්‍රීඩා සාහිත්‍ය ගීතය යන
අංශ සඳහා ඇගයීම් සළකා බැලුවද ඊට අදාළ නිර්දේශයන් නොමැතිවීමද විශේෂත්වයකි. තවද මෙරට ක්‍රීඩා සාහිත්‍ය
ප්‍රවර්ධනයට මෙන්ම ක්‍රීඩා සාහිත්‍ය කෙරෙහි නිර්මාණකරුවන් දිරිගැන්විමේ අරමුණෙන් මෙකී ප්‍රධාන සම්මානයන්ට
අමතරව අදාළ ක්ෂේත්‍රෙයේ නියැළෙන්නන් හට කුසලතා සහතික ප්‍රධානය කිරීමටද සබුද්ධි සාහිත්‍ය කවය කටයුතු
කර තිබුණි.
එසේ කුසලතා සහතික ලබා ගත් නාමලේඛනය මෙසේය.
වසරේ ක්‍රීඩා සාහිත්‍ය ඡායාරූපය – කැලුම් චාමර සහ වරුණ ලක්මාල් ආනන්ද
වසරේ ක්‍රීඩා සාහිත්‍ය නව මාධ්‍ය – batsman.com සහ srilankansports.com
වසරේ ක්‍රීඩා සාහිත්‍ය දිනපතා පුවත්පත – මව්බිම සහ දිනමිණ
වසරේ ක්‍රීඩා සාහිත්‍ය සති අන්ත පුවත්පත – සිළුමිණ සහ රාවය
වසරේ ක්‍රීඩා සාහිත්‍ය ගුවන් විදුලිය – වෙළඳ සේවය සහ සිත 88.8
වසරේ ක්‍රීඩා සාහිත්‍ය රූපවාහිනිය – ජාතික රූපවාහිනිය සහ දෙරණ
වසරේ ක්‍රීඩා විවිධ විෂයික කෘතිය – ජනක සමරසිංහ (විද්‍යාත්මක කායවර්ධනය) සහ එම්.සෆීර් (චීන වූෂු මූලික ක්‍රම)
වසරේ ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂණ නිබන්ධනය – නඳුනි විජේතුංග