ක්‍රීඩා සංස්කෘතිය රැකගැනීම උදෙසා මෙවැනි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්වීම කාලෝචිතයි. – අමාත්‍ය නාමල් රාජපක්ෂ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට්
ශ්‍රවණාගාරයේදී පසුගියදා (03) පැවති ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට
සහභාගී වෙමින් අමාත්‍ය වරයා මේ බව පැවසීය.

පදක්කම් දිනන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ජනතාව අතරට ගෙනයන ක්‍රීඩා මාධ්‍යවේදීන්, ක්‍රීඩා සාහිත්‍යවේදීන්,
ක්‍රීඩා සාහිත්‍ය සම්බන්ධව පර්යේෂණවල නියැලෙන්නන්, ක්‍රීඩා විද්‍යාර්ථීන් ඇගයීමට ලක්කිරීම හා ක්ෂේත්‍රයේ
නවකයින් දිරිමත් කිරීමේ අරමුණින් මෙම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්විණි.

මෙහිදී ක්‍රීඩා සාහිත්‍යයට කරනු ලබන සේවාව වෙනුවෙන් විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය යන අංශ තුනටම අදාළව
එදින සම්මාන පිරිනැමීම සිදුවිය.

සබුද්ධි සාහිත්‍ය කවය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා
ටෙලිකොම්-මොබිටෙල් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වුණු අතර මෙහිදී 2020 ඔක්තෝම්බර් මස 01 දා
සිට 2021 සැප්තැම්බර් 30 දක්වා අතර කාලයට අදාළව උක්ත ඇගයීම් සිදු කර තිබිණි.

මේ සඳහා සම්මානලාභීන් තෝරාගැනීම ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය
ලාල් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් මගින්සිදුවිය.

එහිදී අමාත්යයවරයා මෙසේ පැවසීය.

”දෙවන වතාවට පැවැත් වූ මෙම සබුද්ධි ක්‍රීඩා සම්මාන උළෙලේ දී සම්මාන ලැබූ සියලු දෙනාට පළමුවෙන්ම මා සුබ
පතනවා.
ක්‍රීඩාවේ දීර්ඝ ඉතිහාසයක් ගොඩනැගීමට සහ ක්‍රීඩාවට විශාල දායකත්වය ලබාදිය හැකි සම්මාන උළෙලක් බවට
මෙම සම්මාන උළෙල පත් වේ යැයි මා විශ්වාස කරනවා.

‘ක්‍රීඩාවේ නියැලෙන ළමයින්ට ඉගෙන ගන්න අමාරුයි’ යැයි සමාජය තුළ වැරදි මතයක් තිබෙනවා. නමුත් එම මතය
අද වනවිට තුරන් වේගෙන යනවා. එය ඉතාමත් ඉක්මනින් තුරන් විය යුතුයි. ක්‍රීඩාව තුළින් දරුවාගේ විනය
ගොඩනැගෙනවා වගේම යම්කිසි ඉලක්කයක් හා බලාපොරොත්තුවක් කරා ගමන් කිරීමේ අවකාශය නිර්මාණය
වෙනවා. බුද්ධිමත් ක්‍රීඩා චරිත (Intelligent Sports Characters) නිර්මාණය කිරීම අපිට තිබෙන ලොකුම
අභියෝගය වනවා. දත්ත සංකලනය (Data Analysis) මත ඉදිරියට යන අද ලෝකයේ ක්‍රීඩාව තාක්ෂණයෙන්
පරිපූර්ණයි.
ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් තමන්ගේ උපරිම දක්ෂතාවයට යනවිට ඒ උපරිම දක්ෂතාවයෙන් ජාත්‍යන්තරය ජයගන්න
පුලුවන් දරුවෙක් බවට පත්වීමට නම් ඔහුට හෝ ඇයට කායික මානසික ශක්තිය වගේම ක්‍රීඩාව, සමාජය සහ පොත
පත කියවීම මගින් හොද දැනුමක් තිබිය යුතුයි. එසේ දැනුමක් තිබෙන ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවකට ලෝකයේ
තිබෙන නවීන පුහුණු රටාවන්ට අනුගත වී ජාත්‍යන්තර ඉලක්කයන් හඹාගෙන යාමට හැකියාව ලැබෙනවා.

පාසල් මට්ටමින් අධ්‍යාපන අමාත්‍යංශය සමග ඉතාමත් සමීපව කටයුතු කරමින් පාසල් ක්‍රීඩා පද්ධතිය තුළ දැවැන්ත
පෙරළියක් නිර්මාණය කිරීමට අපි නිරන්තරයෙන් උත්සහ කරනවා. මේ වනවිටත් අපි පාසල් ක්‍රීඩා සංගම් සමග
සාකච්ඡා කර ඉතාමත් සාධනීය හා ගුණාත්මක තැනකට පැමිණ තිබෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාසල් මට්ටමේදී
තාක්ෂණික උපදෙස් නිවැරදිව ලබාදීමෙන් ඔවුන් ජාතික මට්ටමට පැමිණීමෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක
ක්‍රීඩිකාවන් බවට පත් කළ හැකියි.

වර්තමානයේදී ක්‍රීඩාවේ ඉහළට යාමට වයස බලපාන්නේ නැහැ.එදා ලෝකයේ ටෙනිස් ශූරයන් විදියට වයස අවුරුදු
30, 35 ක්‍රීඩකයින්දැක්කේ. අද අපි දකිනවා වයස අවුරුදු 18, 19 දී දැවැන්ත ජයග්‍රහණ කරා දරුවෝ යනවා.
ජාත්‍යන්තර තරගාවලි සහ ඒවායින් ජයග්‍රහණය කරන දරුවෝ දිහා බැලුවාම වයස බලපාන්නේ නැහැ. අවුරුදු 20, 21
කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්ට ලෝක ශූරයෙක් බවට පත්වෙන්න පුලුවන් වයසක්. පසුගිය කාල සීමාවේ තිබුණු
මානසිකත්වයෙන් මිදී නව තරුණ ක්‍රීඩකයින්ව ඉදිරියට ගෙනවිත් ඔවුන් දිරිගන්වන්න අපි කටයුතු කළ යුතුයි.

ක්‍රීඩා සාහිත්‍ය කියන කාරණය අපේ රටේ තිබෙන විශාල අඩුවක් ලෙස දකිනවා. පොත පත කියවා දැනුම ලබාගැනීමට
අවකාශය නොමැති වීම, ක්‍රීඩාව පිළිබදව කියවීම සදහා ඇති පොත පත අඩුවීම, විදෙස් භාෂා වලින් ලියවුණු පොත පත
කියවීමේදී භාෂා ගැටලු ඇතිවීම වැනි කාරණා නිසා සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලියවුණු පොත් පත් කියවීමට අපි
පෙළඹෙනවා. ක්‍රීඩාව පිළිබඳ පොත් පත් අඩුවීම හේතුවෙන් ක්‍රීඩකයින් බොහෝ අපහසුතාවලට පත් වෙනවා.
මෙවැනි සම්මාන උළෙල හරහා ක්‍රීඩාව හා බැදුණු සාහිත්‍යයක පොත්පත් රචකයින් දිරිගන්වන්න පුලුවන් වේ යැයි
අපි විස්වාශ කරනවා.

වොලිබෝල් ඉතිහාසය පිලිබදව පොතක් එලිදැක්වීමටපසුගිය දිනක මා සම්බන්ධ වූවා. එය වොලිබෝල් ක්‍රීඩාවේ
ප්‍රවර්ධනයට වගේම එම ක්‍රීඩාව පිළිබදව උනන්දුවක් දක්වන අයට කළ ගෞරවයක් ලෙස හදුන්වන්න පුලුවන්.
මෙලෙස අනෙකුත් ක්‍රීඩාවලත් එම සංගම් හරහා මෙවැනි පොතපත එළදැක්වීමේ නව ප්‍රවණතාවයක් නිර්මාණය වේ
යැයි විශ්වාස කරනවා.

ලබන වසරේදී මෙම සම්මාන උළෙලට ක්‍රීඩාව සම්බන්ධව කෙටි චිත්‍රපට සදහා සම්මානයක් එක්කිරීම සුදුසු යැයිමා
යෝජනා කරනවා. අපේ අසල්වාසී රටවල් කෙටි චිත්‍රපටි වලින් පටන්ගෙන දැන් රිදී තිරයේ චිත්‍රපටි දක්වා වර්ධනය වී
තිබෙනවා. අපිටත් පුලුවන් ක්‍රීඩාවේ හරය කෙටි චිත්‍රපට හරහා ඉදිරිපත් කරන්න. ඉතාමත් කටුක අත්දැකීම් සමග
ඉතාමත් අමාරුවෙන් ක්‍රීඩා මාධ්‍යවේදීන් තම කාර්ය‍ කරගෙන යනවා.

උදාහරණ ලෙස ඩන්කන්වයිට් මහතාගේ කතාව, 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම, සුසන්තිකා ජයසිංහ
මහත්මියගේ කතාව, වර්තමානයේ පැරා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත මහතාගේ කතාව වැනි කතා කේන්ද්‍ර කරගත් කෙටි
චිත්‍රපට මෙම උළෙලට එකතු කරගත හොත් ඉදිරි කාල සීමාව තුළ මෙය තවත් සාර්ථක වේ යැයි මා විස්වාස කරනවා.

මෙම සම්මාන උළෙල සදහා ඉදිරියේදීත් ක්‍රීඩා අමාත්‍යංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හැකි උපරිම
සහයෝගය ලබාදෙනවා. ඒ තුළ රජ්‍ය අනුග්‍රහය සහිතව ඉතාමත් සාර්ථකව මෙම සම්මාන උළෙල කරගෙන යාමේ
හැකියාව ඔබට ලැබේවි. ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර ජයග්‍රහණ සදහා අවශ්‍ය වැඩපිළිවෙලක් අපි නිර්මාණය කර
තිබෙනවා. එහි ප්‍රතිඵල අපිට අද දකින්න තිබෙනවා.

කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීනව එම ප්‍රතිඵල ලබන විට ඒ තුළ අපේ රටේ විනයගරුක ක්‍රීඩා සංස්කෘතියක්
නිර්මාණය කළ යුතුයි. ක්‍රීඩා සංස්කෘතිය නිර්මාණය කළ යුත්තේ කලාව, සංගීතය සහ ලේඛනය යන සියල්ලෙහි ම
එකතුවෙන් බව අප සැම දන්නා කාරණයක්. මාධ්‍ය තුළ පළවෙන ක්‍රීඩා සම්බන්ධ ලිපි මගින් ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව
උනන්දුවක් ඇතිවෙනවා වගේම ක්‍රීඩාව විෂයක් විදියට හදාරන්න්නට එය මනා පිටුවහලක් ද වනවා. ක්‍රීඩා ආර්ථිකය
පිළිබදව විශේෂ අවධානයක් යොමු වූ කාල සීමාවක ක්‍රීඩා සාහිත්‍යයට ප්‍රමුඛත්වය ලබාදෙමින් ක්‍රීඩා සංස්කෘතිය
රැකගැනීම උදෙසා මෙවැනි ක්‍රීඩා සම්මාන උළෙල පැවැත්විම හා මෙවැනි කාරණා සම්බන්ධව සමාජය දැනුම්වත්
කිරීම ඉතාම කාලෝචිතයි.

ක්‍රීඩාව ගොඩනැගීමේ වගකීම අපි සැවොම සතුයි. ඒ සදහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු ගන්න අපි සුදානම්.ඉදිරි කාල
සීමාව තුළ ඔබ අප අපේක්ෂා කරන වෙනස කරා අපිට ගමන් කළ හැකි බවට ඒ තුළ අපිට විස්වාසයක් තබා ගත
හැකියි. ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් ආයතනයට මේ සදහා දායකවීම පිළිබදව අපි ස්තූතිවන්ත වෙනවා” යැයි
අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ
අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමුහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, ජාතික පුස්තකාල
සභාපති සොනාල ගුණවර්ධන, ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති ජෙනරාල් දයා රත්නායක, ප්‍රවීණ ක්‍රිකට් විස්තර
විචාරක ප්‍රේමසර ඈපාසිංහ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක යන මහත්ම මහත්මීහු
ඇතුළු පිරිසක් සහභාගී වූහ.