2වැනි සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේදී විද්‍යාර්ථින් සහ ඡායාරූප ශිල්පීන්ටත් සම්මාන.

ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් “සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල-2021“ ලබන දෙසැම්බර් මස 3දා පැවැත්වීමට නියමිත අතර සබුද්ධි සාහිත්‍ය කවය විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන මෙවර සම්මාන උළෙලේදී පසුගිය වසරේ පිරිනමන ලද සම්මාන වලට අමතරව තවත් ක්ෂේත්‍රයන් හතරකට අදාළව ඇගයීම් සිදුකිරීමට සැළැසුම් කර ඇත.

ඒ අනුව වසරේ ක්‍රීඩා සාහිත්‍ය ඡායාරූපය, වසරේ ක්‍රීඩා සාහිත්‍ය ප්‍රකාශන ආයතනය, වසරේ ක්‍රීඩා විද්‍යාත්මක කෘතිය සහ වසරේ ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂන කෘතිය යන අංශ හතරට අදාළවද මෙවර සම්මාන පිරිනැමෙනු ඇත. තවද මෙම වසරේ ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂන කෘතිය පිළිබඳව සළකා බැලීමේදී මෙරට විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පර්යේෂන අධ්‍යයනයන් පිළිබඳව සකස් කරන ලද ප්‍රකාශන මෙම සම්මාන ඝනයට අයත් වේ. එසේම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරණ විද්‍යාර්ථින් උදෙසා මෙතෙක් මෙරට තුළදී පිරිනමනු ලබන ප්‍රථම ක්‍රීඩා සාහිත්‍ය සම්මානය මෙය ලෙසද සැළැකිය හැකිය.

ක්‍රීඩා මාධ්‍යවේදීන් මෙන්ම සාහිත්‍යවේදීන්ගේ නිර්මාණ ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන එකම සම්මාන උළෙල ලෙස සැළැකෙන මෙම සම්මාන උළෙලේදී මෙවරත් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිත අතර ක්‍රීඩා අමාත්‍යංශය නිල සහයෝගීතාව දක්වමින් සම්මාන උළෙලට දායක වනු ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහත්වයෙන් එළැඹෙන දෙසැමිබර් 3දා පස්වරුවේ කොළඹ – 7 ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත මෙම සම්මාන උළෙලේදී මෙරට ක්‍රීඩා සාහිත්‍යයට කරනු ලබන සේවාවන් වෙනුවෙන් විද්‍යුත් , මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලා යන අංශ තුනටම අදාලව සම්මාන පිරිනැමීමටද සැළැසුම් කර ඇත.

ඒ අනුව 2020 ඔක්තෝබර් 01දා සිට 2021 සැප්තැම්බර් 30දා දක්වා අතර කාලයට අදාළව උක්ත ඇගයීම් සිදුකරනු ලබන අතර ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්,
වෛද්‍ය ලාල් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් මඟින් සම්මානලාභීන් තෝරා ගැනෙනු ඇත. විනිශ්චය මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ, ආචාර්ය හර්ෂ බී. අබේකෝන් (ලේකම්) ,
කොළඹ විශ්වවිද්‍යාලය – ජන සන්නිවේදන අංශයේ කතිකාචාර්යිනි ෆාතිමා ශානාස්, සහ
කැලණිය විශ්වවිද්‍යාලය – ශාරීරික අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ, සමන් කුමාර ගුණවර්ධන යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ඇත. තවද මෙම සම්මාන උළෙලට අදාළ වැඩි විස්තර දුරකතන අංක 0707557667 / 0714201661 ඇමැතීමෙන් ලබා ගත හැක.