ශ්‍රී ලංකාවෙ 300 යි කෝලිගෙ 100 යි එකම දවසෙ

ලබන සිකුරාදා (4දා) ඉන්දියාවේ මොහාලි හිදී ආරම්භ වන ශ්‍රී ලංකා-ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී එකක් වනු ඇත්තේ එම තරගය ශ්‍රී ලංකාවේ 300 වැනි ටෙස්ට් තරගය වන බැවිනි.
වසර 40කට පෙර ටෙස්ට් තත්ත්වය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව වසර ගණනාවක් පුරා සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්කර ගෙන ඇත. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම කඩුලු ලාභියාගේ ලෝක වාර්තාව මුත්තයියා මුරලිදරන් සතු වන අතර, ඔහුගේ කඩුලු 800 දශකයකට වැඩි කාලයක් තිස්සේ නොබිඳී ඇති අතර එය බොහෝ කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙකී ගෙවුන ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව දක්‍ෂ පිතිකරුවන් රැසක්ම‌ බිහිකර ඇත. ඒ අතරින් ටෙස්ට් ලකුණු 10,000 කට වඩා රැස් කර ඇති කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන දෙදෙනාම මෙම දිවයිනෙන් බිහිකළ විශිෂ්ට ක්‍රීඩකයන් දෙදෙනෙකි.

තවද ශ්‍රී ලංකාවේ 300 වැනි ටෙස්ට් තරගය ඉන්දීය නායක විරාත් කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගයට ද සමපාත වීම 4දා දෙරට අතර පැවැත්වෙන තරගයේ විශේෂත්වයකි. කෙසේ වෙතත් අවාසනාවකට, පන්ජාබ් හි පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම ඓතිහාසික තරගය නරඹන්නන් සඳහා ක්‍රීඩාංගණය විවෘත වන්නේ නැත. නමුත් ඉන්දියානු දකුණු ප්‍රදේශයේ සෞඛ්‍ය රෙගුලාසි බෙහෙවින් ලිහිල් බැවින් බැංගලෝර් හිදී 12දා ඇරැඹෙන ශ්‍රී ලංකා-ඉන්දියා දෙවන ටෙස්ට් තරගය ප්‍රේක්ෂකයින් සඳහා විවෘතය.

දෙරට අතර අවසන් වූ විස්සයි-20 තරඟාවලියේදී ශ්‍රී ලංකාව 3-0ක් ලෙස පරාජය වුවද, ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න වැනි ක්‍රීඩකයින්ගේ අත්දැකීම් මත ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ටෙස්ට් තරඟාවලිය වඩාත් තරගකාරී එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව හැර අන් සෑම රටක් තුළදීම ටෙස්ට් තරග ජයග්‍රහණ වාර්තා කර ඇත.
දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කළ එකම ආසියාතික කණ්ඩායම වන්නේද ශ්‍රී ලංකාවයි.