ටීචර්ගේ බර්ත් ඩේ පාටියෙන් සිසුන් 35ක් නිරෝධායනයට

පෙර පාසල් ගුරුවරියකගේ උපන්දින සාදයකට සහභාගි වූ දරුවන් 20 දෙනකු ඇතුළු 35 දෙනකු නිරෝධායනයට ලක් කර ඇති බව බද්දේගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පී. නවරත්න මහතා පැවසීය.

වඳුරඹ කොකාවල ප‍්‍රදේශයේ මෙම පෙර පාසලේ 39 වියැති කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවත්, ඇයගේ දරුවා යන පෙර පාසලේ දරුවන්, එම පවුල්වල අය හා ගුරුවරියන් මෙසේ නිරෝධානයට ලක් කර ඇති බවත් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

මෙම පෙර පාසලේ ගුරුවරියකගේ උපන් දින සාදයක් ඉකුත් දින පැවැති අතර පෙර පාසලේ කේක් කපා සැවොම අනුභව කර ඇත. එබැවින් හා මෙම දරුවා සමග අනෙකුත් දරුවන් සමීපව ඇසුරු කිරීම නිසා ඔවුන් නිරෝධායනයට යොමු කර තිබේ. ආසාදිත කාන්තාවගේ දරුවා ප‍්‍රථමයෙන් පී. සී. ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඉන් ලැබෙන වාර්තාව අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පී. නවරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

කොරෝනා ආසාදිත කාන්තාවගේ සැමියා කොළඹ ප‍්‍රදේශයේ රැුකියාවක් කරන අයකු බවත් ඔහු මාසයක කාලයකින් නිවාඩු ලබා නිවසට පැමිණ නැති බවත් සෞඛ්‍ය නිලධාරීහු පවසති.

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බර්ට‍්‍රම් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පී. නවරත්න මහතා ප‍්‍රමුඛ නිලධාරීහු මෙම රාජකාරින් සිදු කරති.