විමල් වීරවංශ සද්ධ නැතිව පෑනෙන් පිළිතුරු දෙයි

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා දීමෙන් අනතුරුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි
තැබූ සටහන් ඇසුරිණි.
”කුමන අමාත්‍යාංශයක් යටතේ වුවද ජාතියට දායාදයක් වූ, අනාගතයට ආයෝජනයක් වූ එප්පාවල පොස්පේට් නිධිය සහ ලංකා පොස්පේට් සමාගම වඩවඩාත් දියුණු වෙමින් සාර්ථකත්වයට පත්වනු දැකීම මාගේ අභිප‍්‍රායයි!”
1974 දී ආරම්භ කළ ලංකා පොස්පෙට් ආයතනය එකල පැවතියේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය යටතේය. ජාතියට අගනා දායාදයක් වූ එප්පාවල පොස්පේට් නිධිය ආශ‍්‍රිතව ලංකා පොස්පේට් සමාගම 1991 වසරේදී සමාගමක් බවට පත්කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි පරිදි යොදාගැනීමට සැළසුම් කොට තිබූ වටිනා සම්පතකි. 2000 වසරේදී පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට යෝජිතව තිබු ලංකා පොස්පේට් සමාගම රජරට ජනතාවගේ සහ සමස්ත ශ‍්‍රී ලාංකීය දේශමාමක ජනතාවයේ කැපවීමෙන් ඓතිහාසික නඩු තීන්දුවක් මගින් නැවත රාජ්‍ය ව්‍යවසායක් බවට පත්විය. එදා පටන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වූ ලංකා පොස්පේට් සමාගම 2015 යහපාලන ආණ්ඩු සමයේ දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයට ගැසට් කොට තිබිණි. ඊට හේතු වූයේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ දිස්ත‍්‍රික්කයේ මෙන්ම ඔහු නියෝජනය කළ ආසනයේම ලංකා පොස්පේට් සමගම පිහිටා තිබීමය.
යහපාලන ආණ්ඩු සමයේ ලංකා පොස්පේට් සමාගම සිය දැවැන්තම පාඩුව වාර්තා කළේ 2016/17 මුදල් වර්ෂය තුළ සමස්ත මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 80.8ක් ලෙස සටහන් කරමිනි. එතැන් පටන් දිගින් දිගටම පාඩු ලබමින් පැවති ලංකා පොස්පේට් සමාගම නව ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වන මා යටතේ 2020 අග භාගයේ සිට 2021 ජුනි දක්වා රුපියල් මිලියන 104.6ක් ඉක්මවූ වාර්තාගත මෙහෙයුම් ලාභයක් වාර්තා කරන ලදී. පාඩු ලබන සමාගම් ලාභ ලබන සමාගම් බවට පත් කරන ආකාරය පිළිබඳව මෑතකාලීනව දියහැකි හොඳම ආදර්ශයක් වන්නේ ලංකා පොස්පේට් සමාගමේ මෙම නැවත නැගී සිටීම ය.
ලංකා පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්තුමන් ද සහභාගී කරවාගෙන සාකච්ඡුා ගණනාවක් පවත්වා එප්පාවල පොස්පේට් නිධියෙන් රටටත්, ගොවි ජනතාවටත් උපරිම ඵලයක් ලබා දීම පිණිස කටයුතු කළෙමි. ඒ අනුව එප්පාවල පොස්පේට් පොහොරවලට වටිනාකමක් එකතු කිරීමත්, කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකිිඑප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) ඇසුරුමක්’ හඳුන්වාදීමටත් තීරණ කළෙමි. එප්පාවල රොක් පොස්පේට් වෙනත් පොහොර නිෂ්පාදකයන්ට තොග වශයෙන් ලබා දීම නතර කර ඊට අගයක් එකතුකර සුපර් පොස්පේට්’ පොහොර නිෂ්පාදනය කර ලංකා පොස්පේට් සමාගම මගින්ම අලෙවි කිරීම ආරම්භ කිරීම ද එම කාලවකවානුව්දී සිදු විණි.
කොවිඞ් වසංගතයත් සමඟ සෞභාග්‍යයේ දැක්ම අනුව ගෙවතු වගා සංග‍්‍රාමයක් අරුඹූ මොහොතේ කාබනික පොහොර සඳහා ඉතා විශාල ඉල්ලූමක් ඇතිවූ අවස්ථාවේ අපට අපේ දෙවන තීරණය කඩිනමින්ම ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබිණි. ‘අපිට පොහොර – අපිම හදමු’ තේමාව යටතේ කාබනික පොහොර කිලෝ 20කට එකතු කළ හැකි එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) කිලෝ 01ක පැකට්ටුවක් ‘එප්පාවල පොහොර‘ නමින් හඳුන්වා දීම සිදුකිරීමටත් අපට හැකියාව ලැබිණි.. සාමාන්‍ය වෙළදපොළේ මිල රුපියල් 30ක්ව පැවති එම පොහොර අප ලබාදුන්නේ රුපියල් 10කට ය. ඒ අනුව අපට රසායනික පොහොර වෙනුවට ‘සවිබල ගැන්වූ කාබනික පොහොර‘ ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ලබා දීමට හැකිව ලැබිණි. කාබනික පොහොරවල නයිට‍්‍රජන් හා පොටෑසියම් සංඝටක ප‍්‍රමාණවත් ලෙස තිබෙන නමුත් පොස්පරස් සංඝටකය අවම වීම අප හඳුන්වා දුන් එප්පාවල පොහොර මිශ‍්‍රණයෙන් මඟ හරවා ගැනීමේ හැකියාව ලැබිණි. එමගින් ආනයනික පොහොර සදහා වසරකට වැයවන රුපියල් බිලියන 33ක මුදල රට තුළම ඉතිරි කර ගැනීමේ ඉඩකඩ නිර්මාණය වීමට මෙම තීන්දුව මූලික පසුබිම සැකසුවේය.

එතැනින් නොනැවතුණු ලංකා පොස්පේට් සමාගම ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් එක් කරගනිමින් ‘‘ජෛව හරිත පොස්පේට් ‘‘ නිෂ්පාදනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඇරඹීමට තීරණය කොට ඒ වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු ඇතුළු නිෂ්පාදනයට අවශ්‍ය සියලූ පසුබිම සකසා අවසන් කොට ජනගත කිරීමට සුදානමින් සිටියත් කොවිඞ් අර්බුදය සමග අවස්ථා කිහිපයකදී එය ප‍්‍රමාද විණි. නමුත් මෙම මස 23 වනදා අමාත්‍යාංශයේදී ‘‘ජෛව හරිත පොස්පේට්‘‘ පොහොර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම පිළිබදව එකගතා ගිවිසුම අත්සන් තැබීම සිදු කිරීමට නියමිතව තිබිණි.
කර්මාන්ත ඇමතිවරයා වශයෙන් වසර එකහමාරකට ආසන්න කාලයක් ලංකා පොස්පේට් සමාගමට ඔවුන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහයෝගය හැකි හැම ආකාරයෙන්ම ලබාදුන් අතර එම ආයතනයේ පරිපාලනයට හෝ ක‍්‍රියාවලියට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකර සාර්ථකව ආයතනය ගෙන යාමට සහයෝගය ලබා දුන්නෙමි. අඩුම තරමින් එම කාලය තුළ කිසිදු නව සේවකයෙක් හෝ එම ආයතනයට පත් නොකළ අතර ආයතනය තුළ පවතින ක‍්‍රියාදාමයට කිසිදු බලපෑමක් නොකිරීමට පියවර ගනු ලැබුවෙමි. ඊට අමතරව ලංකා පොස්පේට් සමාගම සමග එක්ව ඉදිරි වසර කිහිපය තුළ නව ව්‍යාපෘති කිහිපයක්ම ඇරඹීමට සැළසුම් කරමින් තිබිණි.
කුමන අමාත්‍යාංශයක් යටතේ වුවද ජාතියට දායාදයක් වූ, අනාගතයට ආයෝජනයක් වූ එප්පාවල පොස්පේට් නිධිය සහ ලංකා පොස්පේට් සමාගම වඩා වඩාත් දියුණු වෙමින් සාර්ථකත්වයට පත්වනු දැකීම මාගේ අභිප‍්‍රායයි. අප විසින් 2020/2021 වසරේ ලාභ ලබන තත්වයට ගෙන ආ ලංකා පොස්පේට් සමාගම ඉදිරියටත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.
විමල් වීරවංශ (කර්මාන්ත අමාත්‍ය)