සීක්කුගෙන් සුපිරි ප්‍රහාරයක් – පන්දු හයකදී ලකුණු 32 ක්

පන්දු 12 කදී කොළඹ කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 31 ක් අවශ්‍යව තිබියදී පැමිණි සීක්කුගේ ප්‍රසන්න පන්දු හයකදී ලකුණු 32 ක් ලබා ගත්තේ දැවැන්ත හයේ පහර පහක් ලබමිනි. ඒ සමගම කොළඹ පිලට නුවර කණ්ඩායම කඩුලු 5 කින් පරාජය කිරීමට හැකිවිය.
පළමුව පිති ප්‍රහාරය දියත් කළ මහනුවර කණ්ඩායම කඩුලු 9ට ලකුණු 146 ක් ලබා ගත් අතර එහිදී කෙනර් ලුවිස් පන්දු 44 කදී හයේ පහර හයක් සහ හතරේ පහර දෙකක් සමග ලකුණු 62 ක්ද ඔහු සමග අනෙක් අන්තයෙන් ඉනිම ඇරඹු චරිත් අසලංක පන්දු 18 කදී ලකුණු 28 ක් ලබා ගත්තේය.
ජයග්‍රාහී හඹා යෑම ඇරඹු කොළඹ පිලේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු නොලබා පිටියෙන් ඉවත් වෙද්දී අනෙක් අන්තයෙන් ඉනිම ඇරඹු නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 34 කදී ලකුණු 29 ක් ලබා ගත්තේය. නුවර කණ්ඩායමට ජයග්‍රහණයේ වැඩි වාසි දෝලනය වෙමින් තිබියදී පැමිණි දිනේෂ් චන්දිමාල් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමග ලකුණු 42 ක් ලබාගත් අතර ඔහුගේ දැවී යාමෙන් පසුව තිබූ දැවැන්ත අභියෝග සීක්කුගේ ප්‍රසන්නගේ හයේ පහර පහ හමුවේ ජය ගැනීමට කොළඹ පිලට හැකිවුයේ තවත් පන්දු 2 ක් ඉතිරිව තිබියදීය.