විදුලි බස් රථ 50ක් ආනයනය කරන්න ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලයි

මෙරට ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමට මැදිහත් වී විදුලි බස් රථ 50ක් ආනයනය කරන ලෙස ලංකා
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන්
ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීම සඳහා අදාළ ලිපියක්ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු
කර ඇති බවයි.

චීන සමාගමක් මුළු බස්රථ තොගයම ලබාදීමට එකඟ වී ඇති බවත් අවශ්‍ය විදුලිය ආරෝපණ මධ්‍යස්ථානද
නොමිලේම ලබාදීමට ඔවුන් එකඟ වූ බවත් පැවැසේ.

එම බස් රථ පහත් බිම් මට්ටමකින් සමන්විත වන බැවින් මගීන්ට ගමන් කිරීමට ඉතා පහසු බවද ඔහු
පැවසීය. එය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් බැවින් ඒ සඳහා බල කරන ලෙස ද විජේරත්න මහතා පරිසර
සංරක්ෂණ සංගම්වලින් ඉල්ලා ඇත.

බස්නාහිර පළාතට නව විදුලි බස්රථ යෙදවිය හැකි අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා දැනට සිටින කාර්ය
මණ්ඩලයටම පැවරිය හැකි බවත් දැනට බස්නාහිර පළාතේ භාවිතා කරන බස් රථ ග්‍රාමීය ප්‍රදේශවලට
ප්‍රවාහන පහසුකම් සැපයීමට අනුයුක්ත කළ හැකි බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
සභාපතිවරයාගේ අදහස වී ඇත.