ඇන්ඩෲ සයිමන්ස් දිවිසැරියට සමුදුන්නේය

ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් පුරාවෘත්තයක් වන හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ස් පසුගිය සෙනසුරාදා (14 වැනිදා) සිදු වූ රිය අනතුරකින් දිවිසැරියට සමුදුන්නේය. ඔස්ටේ්‍රලියාවේ ටවුන්ස්විල් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් ඔහු මියගිය බව ඔස්ටේ්‍රලියානු මාධ්‍ය පෙරේදා වාර්තා කර සිටියේය.

සිද්ධිය වාර්තා වූ දිනයේ රාත්‍රි 11ට පමණ ඇන්ඩෲ සයිමන්ස් ගමන්ගත් මෝටර් රථය ඇලීකා නදිය අසලදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබේ. එහිදී බරපතළ තුවාල ලැබූ ඇන්ඩෲ සයිමන්ස් එතනදීම මියගොස් තිබූ බවට ඔස්ටේ්‍රලියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

තවත් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් පුරාවෘත්තයක් නික්ම යයි....

1998 වසරේ සිට 2009 වසර දක්වා වසර 11ක් ඔස්ටේ්‍රලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඇන්ඩෲ සයිමන්ස් එහිදී එක්දින තරග 198ක්, ටෙස්ට් තරග 26ක් සහ විස්සයි විස්ස තරග 14ක් ක්‍රීඩා කර තිබේ. ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ සයිමන්ස් එක්දින පිටියේ ලකුණු 5088ක් වාර්තා කරමින් කඩුලු 133ක් දවා ගැනීමට සමත්කම් දක්වා තිබේ. ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 1462ක් රැස් කර ඇති ඔහු එහිදී කඩුලු 24ක් දවාගෙන තිබේ. විස්සයි විස්ස පිටියේ ලකුණු 337ක් වාර්තා කරමින් සහ කඩුලු 8ක් බිඳ දමමින් දස්කම් දැක්වීමටද සයිමන්ස් සමත්වී සිටියේය.

ලෝක කුසලාන ශූරතා 3කදීම ඔස්ටේ්‍රලියාව නියෝජනය කිරීමට සමත්වූ ඇන්ඩෲ සයිමන්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම මෙන්ම ඔස්ටේ්‍රලියානු ලෙජන්ඩ්ස්, සරේ ප්‍රාන්ත සහ වෝන් වොරියර්ස් කණ්ඩායම්ද නියෝජනය කළේය.

සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව සයිමන්ස් ඔස්ටේ්‍රලියාවේ ටවුන්ස්විල් හි වාසය කළ අතර මිය යන විටදී ඔහු 46 වැනි වියේ පසුවිය.