කාර් පියාඹන්න පටන් ගනියි

පැයට කිලෝමීටර 160ට වැඩි වේගයක් සහ මීටර් 2,500ට වැඩි උන්නතාංශයකට යා හැකි පියාඹන මෝටර් රථයක් ස්ලොවාකියාවේ ප්‍රවාහන අධිකාරිය විසින් පියාසැරියට සුදුසු බවට සහතික වී ඇත.

කාර් රථයක් සහ ගුවන් යානයක් ලෙස ක්‍රියා කරන AirCar රථය BMW එන්ජිමකින් සමන්විත වන අතර, සාමාන්‍ය පෙට්‍රල් ඉන්ධනවලින් ධාවනය වන්නකි.

එයට මෝටර් රථයක සිට ගුවන් යානයක් බවට පරිවර්තනය වීම සඳහා මිනිත්තු දෙක යි තත්පර 15ක් ගත වේ.

මෙම සහතිකය ලබා ගැනීම සඳහා පැය 70ක ගුවන් ගමන් පරීක්ෂාවක්, සහ ගුවන්ගතවීම් සහ ගොඩබෑම් 200කට වැඩි ප්‍රමාණයක් සිදුකරනු ලැබූ බව සමාගම පවසයි.

“AirCar ලබපු සහතිකය නිසා, ඉතාම කාර්යක්ෂම පියාඹන මෝටර් රථ විශාල වශයෙන් නිෂ්පාදනය කරන්න දොරටු විවර වෙනවා,” එහි නිර්මාතෘ, මහාචාර්ය ස්ටෙෆාන් ක්ලයින් පැවසීය.

“මධ්‍යම මට්ටමේ දුර ප්‍රමාණයන් ගමන් කිරීමේ ආකාරය සදහටම වෙනස් කරන්න අපට ඇති හැකියාව ගැන නිල සහ අවසාන තහවුරු කිරීමක් මේ.”

ජූනි මාසයේ දී, මෙම පියාඹන මෝටර් රථය ස්ලොවාකියාවේ නිට්‍රා සහ බ්‍රැටිස්ලාවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් අතර මිනිත්තු 35ක පියාසැරියක් සම්පූර්ණ කළේ ය.

මෝටර් රථ සමාගම බීබීසී පුවත් සේවයට පැවසුවේ, “නුදුරු අනාගතයේ දී පැරිසියේ සිට ලන්ඩනයට පියාසර කිරීමට” සැලසුම්කර ඇති බව යි.

වෙස්ට් ඔෆ් ඉංග්ලන්ඩ් විශ්වවිද්‍යාලයයේ ගුවන් යානා සහ ගුවන් යානා පද්ධති පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය ස්ටීව් රයිට් පැවසුවේ මෙය එම සමාගමට “හොඳ ආරම්භයක්” බව යි. “මට හිතෙනවා දවසක AirCar කීපයක්ම දකින්න ලැබේවි කියලා. ඒත් ඒකට කාලය ඕන වේවි,” ඔහු පැවසුවේ ය.

වෙනත් සමාගම් ද මාර්ගවල ධාවනයෙහිත්, පියාසර කිරිමෙහිත් සමත් මෝටර් රථ නිර්මාණය කරමින් සිටියි.

ගයිරොකොප්ටරයක් මෙන් පියාසර කරන ත්‍රිරෝද PAL-V Liberty රථයට යුරෝපයේ මාර්ගවල ධාවනය සඳහා නීතිමය අවසරය ඇති අතර, යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ නියෝජිතායතන සහතිකය ලැබීමේ අපේක්ෂාවෙන් ද පසු වේ.

නමුත් ආචාර්ය රයිට් විමසන්නේ පියාඹන මෝටර් රථවලට කොපමණ මහජන ආකර්ෂණයක් තිබිය හැකි ද යන්න යි.

“පියාඹන කාර් කියන්නේ අපේ අනාගතය ද? ඔව්… සහ නැහැ,” ඔහු පැවසීය.

“පුද්ගලික වාහනවල විප්ලවයක් අනිවාර්යයෙන්ම සිදුවේවි. ඒත් ඒක ඇත්ත වශයෙන්ම මේ විදියම වෙන එකක් නැහැ.”

“ප්‍රවාහනය අතින් බැලුවොත්, මේක හොඳ නිෂ්පාදනයක්. ඇත්තටම, සිත් ගන්නාසුළු නිෂ්පාදනයක්.”

AirCar, ගුවන්ගතවීමත්, ගොඩබැසීමත් සාමාන්‍ය ගුවන් යානයක් මෙන් සිදුකරන අතර, එය පියාසර කිරීමට ගුවන් නියමු බලපත්‍රයක් අවශ්‍ය වේ.

නමුත් සමාගම් ගණනාවක් ස්වයංක්‍රීයව පියාසර කිරීමට, සිරස්ව ගොඩබෑමට සහ ගුවන්ගත කිරීමට හැකි ආකාරයේ, නියමු-රහිත ගුවන් කුලී රථ සේවා හඳුන්වාදීමට වෙහෙසෙමින් සිටියි.

ප්‍රවර්ධකයින් බලාපොරොත්තු වන්නේ ඒවා පහසු සහ නම්‍යශීලී ප්‍රවාහන ක්‍රමයක් වනු ඇති බවත්, ඇතැමකට සැලකිය යුතු ආයෝජනයන් ආකර්ෂණය වනු ඇති බවත් ය.

බෝයිං සමාගම කැලිෆෝනියාවේ පිහිටි ස්වයංක්‍රීය ගුවන් ටැක්සි සමාගමක් වන ‘විස්ක්’ වෙත අමතර ඩොලර් මිලියන 450ක් (පවුම් මිලියන 334ක්) ආයෝජනය කරන බව සඳුදා නිවේදනය කළේ ය. විස්ක් යනු ගූගල් සම-නිර්මාතෘ ලැරී පේජ් විසින් දියත් කරන ලද ‘කිටී හෝක්’ සමාගමට අයත් ආයතනයකි.

උපුටා ගැනීම බීබීසී