සෙල්ලම් ඇමතිගේ නම විකුණන බහිරවයෙක් ක්‍රිකට් මහගෙදර

ටෙන්ඩර්වලින් අඩුම ලංසුවට යන ගනුදෙනු සෙල්ලම් ඇමතිගේ නමත් විකුණා ක්‍රිකට් මහගෙදර ලොක්කා හිතවතුන්ට ලබාදෙයි

ක්‍රිකට් මහගෙදර සැලකෙන්නේ දූෂණ, වංචා බහුලව සිදුවන එහෙත් නීතියේ ඇසට වැලි ගසමින් ඉතා සූක්ෂ්මව කට්ටි පනිමින් සිටින පිරිසක් සිටින ස්ථානයක් ලෙසයි. එහෙත් ඒ තුළ නියම මහත්මා ගති පවතින සීමිත පිරිසක් සිටින බවද නොරහසකි. මෙම මහගෙදර මේ වනවිට ක්‍රිකට් සෙල්ලම් නොකරන එහෙත් ඩොලර් මලුවලින් ගනුදෙනු සිදුවන ස්ථානයක් බවට පත්ව ඇතැයිද චෝදනාවක් වෙති.

මෙහි අලුත්ම සෙල්ලම නම් ටෙන්ඩර්වලින් අඩුම ලංසුවට යන ගනුදෙනු සෙල්ලම් ඇමතිගේ නම විකුණා හිතවතුන්ට ලබාදීමයි. මේ නිසාම පසුගිය කාලය පුරා අඩුම ලංසුවට යන ගනුදෙනු එකපාරටම අන්තරස්දාන වී කලක සිට අරක්ගෙන සිටින බහිරවයෙක්ගේ නමටම ගොස් තිබේ.

මෙම බහිරවයා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ කුරුණෑගල ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුගේ (සෙල්ලම් ඇමති ලෙසත් කලක් කටයුතු කර තිබිණ) හෙංචයියෙක් ලෙස කටයුතු කරමින් 2016 වසරේ සිටම ක්‍රිකට් මහගෙදරට සැපයීම් සිදු කරමින් අධික ලාභ ලැබූ පුද්ගලයෙකි. එම ලාභවලින් කොටසක් කොමිස් ලෙස ක්‍රිකට් මහගෙදර ලොක්කන්ගේ සාක්කුවලට ගිය බව එහි සේවකයෝම පවසති.

වර්තමාන සෙල්ලම් ඇමතිතුමා මේවා නොදන්නවාද? එසේත් නැතිනම් දැනගෙන නොදන්නවා සේ ඉන්නවාද යන්න ක්‍රිකට් මහගෙදර සේවකයෝ මැසිවිලි නගති. ඔවුන් පෙන්වාදෙන්නේ සෙල්ලම්ගෙදර ඇමතිගේ නම විකුණමින් ‘ඇමතිතුමා ඒ බහිරවයාටම මේ ටෙන්ඩරයත් දෙන්න කිව්වා’ යැයි ක්‍රිකට් මහගෙදර ලොක්කා නිතරම ගෝරනාඩු කිරීම හේතුවෙන් සියලුම ටෙන්ඩර් ඒ බහිරවයාටම සින්න වන බවයි.

ක්‍රිකට් මහගෙදර ලොක්කාගේ අන්තේවාසිකයෙකු ලෙස ප්‍රසිද්ධ ‘රැවිස් ප්‍රනාන්දුත්’ බයටම සියලුම ගනුදෙනු ඒ බහිරවයාටම පන්ගාත්තු කරන බව නොරහසකි.

විශේෂයෙන් මේ බහිරවයා 2016 වසරේ සිට 2020 වසර දක්වාම ක්‍රිකට් මහගෙදරට ගලවා ඉවත් කළ හැකි ‘ඔඩිටෝරියම්’ එකක් රු. ලක්ෂ 60කට වැඩි මුදලක් ක්‍රිකට් මහගෙදරින් ලබාගෙන ඉදි කර පසුව එය ගලවනවිට සහ සවිකරනවිටත් රු. ලක්ෂ 10 බැගින් අය කළ බහිරවයෙකි.

මෙම බහිරවයා ක්‍රිකට් මහගෙදර ලොක්කන්ට කොමිස් කුට්ටි පිටින් ලබාදෙන නිසා අඩුම ලංසු ඉදිරිපත් කරන කිසිදු සැපයුම්කරුවෙකුට කිසිදු ටෙන්ඩරයක් නීත්‍යනුකුලව හිමි වුවත් එය ලබාදෙන්නේ නැත. ඊට හේතුව වී ඇත්තේ නිතරම ඔවුන් සෙල්ලම් ඇමතිගේ නම විකිණීමයි.

කෙසේ වෙතත් මේ අවනඩුවට නිසි පිළිතුරක් ලබාදීමට සෙල්ලම් ඇමැතිත් මැලිකමක් දක්වන්නේ ඇයිදැයි ක්‍රිකට් මහගෙදර සියල්ලන්ටම ප්‍රශ්නයක් වී තිබේ. ඔවුන් සෙල්ලම් ඇමැතිගෙන් ඉල්ලා සිටිනුයේ දැන්වත් මේ හොර මගඩි ටික නවත්වා දෙන ලෙසයි.