අයිපීඑල් තරගවලදී ජෛව ආරක්‍ෂිත බුබුලකින් තවත් බුබුලකට මාරු වීමේ  අවස්ථාව හඳුන්වා දෙයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලොව පළමු වරට ක්‍රිකට් තරග සඳහා අයිපීඑල් තරගවලදී ජෛව ආරක්‍ෂිත බුබුලකින් තවත් බුබුලකට මාරු වීමේ  අවස්ථාව හඳුන්වාදී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන දකුණු අප්‍රිකානුවන්ට නිරෝධායනය නොවී ශ්‍රී ලංකා ජෛව බුබුලෙන් අයිපීඑල් ජෛව බුබුලට මාරු වීමට අවස්ථාව උදාවී තිබේ. යම් හෙයකින් අයිපීඑල් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තෝරා ගතහොත් ඔවුනටද මෙම අවස්ථාව උදාවනු ඇත.

එමෙන්ම මෑතකදී නිමා වූ ශ්‍රී ලංකා–ඉන්දීය එක්දින සහ විස්සයි20 තරගාවලි ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට ද එම ජෛව ආරක්ෂිත බුබුලෙන් අයිපීඑල් තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුල වෙත මාරු වීමට අවසර හිමිව ඇති අතර මීට අමතරව ඉන්දීය–එංගලන්ත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට සහ ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ටද ඊට අදාළ ජෛව ආරක්ෂිත බුබුලෙන්  අයිපීඑල් ජෛව ආරක්ෂිත බුබුල වෙත නිරෝධායනයකට ලක් නොවී පැමිණීමේ අවස්ථාව උදාකරදී තිබේ.

මීට අමතරව අදාළ සියලු තරගාවලි සඳහා එක්වන පුහුණු කාර්යය මණ්ඩලයට, ජාත්‍යන්තර විස්තර විචාරකයින්ට සහ රූපවාහිනී විකාශන සිදු කරන කාර්ය මණ්ඩලයටද මෙම ක්‍රමවේදය අනුව අයිපීඑල් ජෛව ආරක්ෂිත බුබුල වෙත මාරු වීමේ අවස්ථාව උදාවී ඇත.

කෙසේ වෙතත්, කිසිදු ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත්ව නොමැති ක්‍රීඩකයින්ට සහ වෙනත් පුද්ගලයින්ට අයිපීඑල් තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුල වෙත ඇතුළු වීමට පෙර දින 06ක කාලයක් හෝටල් කාමර තුළ නිරෝධායනයට ලක් වීමට සිදුවේ.

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අයිපීඑල් ඉතිරි තරග සඳහා ජෛව ආරක්ෂිත බුබුලු 14ක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. එහිදී කණ්ඩායම් 08 සඳහා ජෛව ආරක්ෂිත බුබුලු 08ක්ද, තරග නිළධාරීන් සහ තරග කළමනාකරණ සාමාජිකයින්ට ජෛව ආරක්ෂිත බුබුලු 03ක්ද තරග විකාශන කාර්ය මණ්ඩලයට සහ විස්තර විචාරකයින් වෙනුවෙන් ජෛව ආරක්ෂිත බුබුලු 03ක්ද නිර්මාණය කිරීමට නියමිතය.

2021 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරමග අත්හිටුවීමට පියවර ගත් අතර, ඒ අනුව එහි ඉතිරි තරග ලබන සැප්තැම්බර් මස 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ කිරීමට නියමිතය.