2028දී ඔලිම්පික් උලෙළට ක්‍රිකට් ඇතුළත් කරන්න සූදානම් – අයිසීසීයෙන් නිල ප්‍රකාශයක්

2028 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හී නුවරදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (10දා) ප්‍රකාශ කළේය.

මෙම පියවරත් සමග 2032 වසරේ බ්‍රිස්බේන්හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ සිට සහ ඉන් ඔබ්බට ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් තරග සඳහා ස්ථිර වනු ඇතැයි අයිසීසීය බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත් මේ සඳහා අයිසීසීය ක්‍රියාකාරී කමිටුවක්ද පත් කර තිබේ. එහි සභාපති ධූරය දරනු ලබන්නේ එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉයන් වට්මෝර් විසිනුයි. සෙසු සාමාජිකයන් වන්නේ අයිසීසී ස්වාධීන අධ්‍යක්ෂ ඉන්ද්‍රා නූයි (Indra Nooyi), සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ සභාපති ටවෙන්ග්වා මුකුලානි (Tavengwa Mukuhlani), අයිසීසී අර්ධ සාමාජික රටවල් නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ උපසභාපති මහින්ද වල්ලිපුරම් (Mahinda Vallipuram) සහ ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ සභාපති පරාග් මරාතේ (Parag Marathe) යන පුද්ගලයින්ය.

අමෙරිකා එක්සත් ජනපදය තුළද මිලියන 30ක පමණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් සිටින බැවින් 2028 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සඳහා සුදුසුම තරගාවලිය වනු ඇති බව අයිසීසීය පෙන්වාදෙයි.

මීට පෙර එක් අවස්ථාවකදී පමණක් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ඇතුළත්ව තිබුණා. ඒ, 1900 වසරේදීය. එහිදී මහා බ්‍රිතාන්‍යය සහ සත්කාරක ප්‍රංශය යන රටවල් දෙක පමණක් ඊට තරග කර තිබුණි.

මීට අමතරව ලබන වසරේ පැවැත්වෙන 2022 වසරේ බර්මිංහැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහාද ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් 2023-2031 ජාත්‍යන්තර ක්‍රීඩා දින දර්ශනය තුල මෙතෙක් කුමන ආකෘතියකින් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නැතත්, එය බොහෝදුරට පන්දුවාර 10 ආකෘතියට වැඩි ඉඩක් ලැබෙනු ඇතැයි වාර්තා වේ.