- තාත්තයි විදුහල්පතිතුමයි දෙන්නම ඉල්ලපු ඉල්ලීම ඉෂ්ඨ කරනකන් මට නින්ද ගියෙත් නැහැ
- ගොඩක් කට්ටිය මම ගහන විලාශය වෙනස් කරන්න හැදුවා
- අසේල විතාන
පන්දු යවන්නා ලෝක පුජිතයෙකි. ඔහුගේ පන්දුවේ වේගය පැයට කිලෝ මීටර් 150 ඉක්මවයි. පිතිකරුවා දෙසට එන පන්දුව බවුන්සර් පන්දුවකි. මෙවැනි පන්දුවකට පුල් පහරක් එල්ල කිරීම අසීරුය. එයට හයේ පහරක් ගැසීම තවත් අසීරුය. එහෙත් එම අභියෝග සාර්ථකව ජයගත් 90 දශකයේ ලොව මනරම් පුල් පහරේ හිමිකරුවා ඔහුය.
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ ඉහළට ඔසවා තබන්නට ඔහු හෙළුෑ දහඩිය කොතෙක්ද කියා මිල කල නොහැක. ඔහු එදා පිතිකරුවකු, නායකයකු, උපනායකයකු, පන්දු යවන්නකු වශයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ අස්වැන්න ඔස්සේ බොහෝ පිරිසක් අදටත් ගමන් කරමින් සිටියි. එදා බහුතරයගේ ක්‍රිකට් වීරයා වු අරවින්දට අදත් හිමිවන්නේ එවැනි ගෞරවයකි. මේ අරවින්ද සිය ක්‍රිකට් දිවියේ අපි නොදන්න දේ සඳහන් කළ ආකාරයයි.
“පොඩි කාලෙ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාවට මම ගොඩක් ආශාවක් දැක්වුවා. මගේ තාත්තා හැම වෙලාවෙම මගේ ක්‍රිකට් ක්‍රීඩාවට පස්සෙන් හිටියා. තාත්තා මාව ක්‍රීඩාංගණවලට ගෙනිහිල්ලා ඒ දවස්වල කට්ට අව්වෙ මට බෝල් කරනවා. මම ඒ බෝල්වලට ගැහුව්වාම තාත්තා අහුලං ඇවිල්ලා ආයිත් දානවා. එහෙම කරලා තාත්තා මාව හැම තරගයකටම එක්කගෙන ගියා.”
“ඒ කාලෙ මම පාසල් ඇරිලා ගෙදර ආපු ගමන් කරන්නෙ යාළුවොත් එක්ක පාරක හරි කොතන හරි ක්‍රිකට් ගහන එක තමයි. රොෂාන් මහානාම සහ අසංක ගුරුසිංහ අපි කට්ටිය පාසල් යන කාළේ ඉඳලම එකට ක්‍රිකට් සෙල්ලම් කළා. මහානාම හිටියෙ මගේ ගෙවල් ළඟ. ගොඩක් වෙලාවට මමයි මහානාමයි පාරෙ ටෙනිස් බෝල් ගහනවා. එතකොට එහා වත්තට කවුරු හරි ගැහුව්වොත් අවුට්. ඉතිං අපි ට්‍රයි කරන්නෙ එහා වත්තට නොගහ අවුට් නොවී ඉන්න. එහෙම ගහනකොට අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. අවුට්වෙන පැත්තට නොගහ බැට් කරන්නෙ කොහොමද කියන එක පවා අපි එදා ඉගෙන ගත්තා. ඔහොම ගහලා තමයි ක්‍රමක් ක්‍රමයෙන් අපි ජාතික කණ්ඩායමට ආවේ.”
මම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ දිගටම හිටියා. නමුත් පළමුවෙනි පාර මට කණ්ඩායමේ ස්ථානයක් ලැබුණෙ නැහැ. ඒ වෙලාවෙ මගේ තාත්තා ඇවිල්ලා කිව්වා ඔයා ඕක ගණන් ගන්න එපා. තමන් මහන්සි වෙලා වැඩ කළොත් කවදා හරි නිසි තැන ලැබෙයි කියලා. මමත් ඊට පස්සෙ ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කළා. ඊට පස්සෙ 19 න් පහළ ජාතික කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ලැබුණා.
පිතිකරුවන් අමාරුවේ දැමීමට එල්ල කරන බවුන්සර් පන්දුවට රිදෙන් පුල් පහර ගසන අරවින්දගේ එම පහර වෙනස් කිරීමටද ඇතැමුන් උත්සහ කළේය. “මම හයියෙන් බැට් කරන එක ගැන ගොඩක් කට්ටිය කතා කළා. ඒ දවස්වල පත්තරවලින් පවා මගේ පිතිකරණ ශෛලීය ගැන කතා කළා. ගොඩක් කට්ටිය මම ගහන විලාශය වෙනස් කරන්න හැදුවා. මම ඒක වෙනස් කරන්න හදපු අවස්ථාවලදී මට හරියට බැට් කරගන්න බැරි වුණා. නමුත් මගේ හිතට තේරුණා මම බැට් කරන ක්‍රමයටම මම යන්න ඕන කියලා. එක එක්කෙනා කියන දේ අහලා බය වෙලා මම ක්‍රීඩා කරන රටාවවෙනස් කළානම් මගේ හැකියාව කවදාවත් එළියට එන්නේ නැහැ. අදත් ඔප්පු වෙලා තියෙනවා එදා මම ගහපු ක්‍රමය නිවැරදියි කියලා. මොකද අද පිතිකරුවන් ඒ පහරවල් ගහලාඅවුට් වුණාට කවුරුත් මුකුත් කියන්න යන්නේ නැහැ.
මගේ පළමු ජාත්‍යන්තර තරගය නවසීලන්තයත් එක්ක තිබුණෙ මොරටුව ක්‍රීඩාංගණයේදී. ලෝක පූජිත වේග පන්දු යවන්නකු වු රිචඩ් හැඩ්ලිට මම මැට් කරාම හිතුණා ජාත්‍යන්තර තරග මෙච්චර අමාරු එකක්ද කියලා. අනිත් පැත්තෙ හිටියෙ සිදත් වෙත්තමුණි. මම මේක සිදත් වෙත්තමුනිට කිව්වාහම එයා කිව්වා රිචඩ් හැඩ්ලි කියන්නෙ අමුතුම වේග පන්දු යවන්නෙක්. ඒ වගේ කට්ටිය හැම තැනම නැහැ. කොහොම වුණත් හැඩ්ලි වගේ පන්දු යවන්නෙකුට බැට් කරලා ජාත්‍යන්තර තරග පටන් ගන්න ලැබීම ඔයාට ලොකු දෙයක් කියලා.
1989 වසරේදී අරවින්ද ඔස්ටේ්‍රලියාවට එරෙහිව සටන්කාමී පිති ප්‍රහාරයකින් ලබාගත් ශතකය සම්බන්ධව අරවින්දට අමතක නොවන මතකයක් තිබේ. “ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් අපේ මානසිකත්වය බිඳ දමන්න එක එක කතා කියනවා. ඒ කතා මුකුත් මම ගණන් ගත්තෙ නැහැ. ඔය කියන තරගයට ඉස්සෙල්ලා ඔස්ටේ්‍රලියානුවන් කියලා තිබුණෙ අපි ටෙස්ට් ගහන්න තරම් හොඳ මදි කණ්ඩායමක් කියලා. එහෙම කියපු නිසා මම හිතා ගත්තා අපේ හැකියාව පෙන්වන්න මේක හොඳ අවස්ථාවක් කියලා. ඒ නිසා කොහොම හරි උපරිමය යොදවන්න ඕන මානසිකත්වය ඇති වුණා. ඒ කාරණය හිතේ තියාගෙන බැට් කළා. තරගයෙන් පස්සෙ අපි ලෙහෙසි පහසු කණ්ඩායමක් නොවන බව ඔස්ටේ්‍රලියානුවන්ට තේරුම් ගියා.
“මට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක්වය අර්ජුන රණතුංගට ලැබුණා. පස්සෙ අර්ජුනව නායකත්වයෙන් අයින් කරලා 1992 ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ නායකත්වය මට භාර දුන්නා. කවදාවත් නායකත්වයට අර්ජුනයි මමයි අතර කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඊට පස්සෙ ආයිත් අර්ජුනව නායකත්වයට පත් කළා. ඔහු නායකයා වුණාට පස්සෙ අපේ ක්‍රිකට් වෙනස් වෙන්න ගත්තා. ඊට ඉස්සෙල්ලා අපි හැම රටක් එක්කම ටෙස්ට් ගහන්න යන්නෙ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න. නමුත් දිනන්න ගහන ක්‍රමය හැදුනෙ අර්ජුන නායකයා වුණාට පස්සෙ.
කොහොම වුණත් මට ආසාධාරණකම් ආපු අවස්ථාත් තියෙනවා. 1993 සාජා සංචාරයේදී මට ලොකු අසාධාරණයක් වුනා. ඒ සංචාරයේදී මගේ ශාරීරික යෝග්‍යතාව හොඳ නැහැ කියලා කණ්ඩායමෙන් මාව අයින් කළා. නමුත් මම ඒ දවස්වල හොඳ ශරීර යෝග්‍යතාවකින් හිටියේ. ඒකට විරුද්ධව අර්ජුන ඇතුළු කිහිප දෙනෙක් කණ්ඩායමෙන් අයින් වුණා. මම අදටත් සතුටු වෙනවා අර්ජුන ඇතුළු කිහිප දෙනෙක් මට වෙච්ච අසාධාරයට විරුද්ධව කණ්ඩායමෙන් අයින් වුණ එක ගැන. ඒ සිදුවීමෙන් පස්සෙ අපේ එකමුතුකම හැමෝටම තේරුම් ගියා.
1996 ලෝක කුසලානයේදීශ්‍රී ලංකාවේ ලකුණු මැෂිම බවට පත්ව සිටියේ අරවින්ද ද සිල්වාය. ඔහු අවසන් මහා තරගයේදී ශතකයක් ලබා නොගන්න අපට ලෝක කුසලාන තවමත් සිහිනයක් වන්නට ඉට තිබුණි. 96 අවසන් මහා තරගයේදී ඔස්ටේ්‍රලියානුවන්ට එරෙහිව අරවින්ද ක්‍රීඩා කළේ සිත කකියන හේතුවකට පිළිතුරු සෙවීමටය.
“96 ලෝක කුසලාන අවසන් මහා තරගයට මම තනියම ගහලා හරි දිනවනවා කියන මානසිකත්වය මට ඇති වුණා. ඒක ඇතිවෙන්න හේතුව වුණේ අවසන් මහා තරගයට ඉස්සෙල්ලා මගේ යාළුවන් කට්ටියක් මාව පුදුම කරන්න මගේ තාත්තවයි අපේ ඩී.එස්විදුහලේ එදා හිටපු විදුහල්පතිවයි පාකිස්තානයට එවලා තිබ්බා. ඒ දෙන්නම මගේ කාමරයට එනකන් මම දැනගෙන හිටියෙ නැහැ ඇවිල්ලා කියලා. ඒක පාරටම තාත්තවයි ප්‍රින්සිපල්වයි දැක්කහම මට පුදුම සතුටක් ඇතුවුණා. ඊට පස්සෙ ඒ දෙන්නම කිව්වෙ ‘පුතා ඔයා ආයිත් ලෝක කුසලාන අවසන් මහා තරග ක්‍රීඩා කරන්න පුළුවන්. ඒවා දිනන්නත් පුළුවන්. නමුත් ඒ තරග බලන්න අපි හිටියිද දන්නෙ නැහැ. ඒ නිසා දැන් අපි ඇවිල්ලා ඉන්නෙ අන්න ඒ දිනන තරගය බලන්න. කොහො හරි අපිට මේක දිනවලා දෙන්න කියලා.”
තාත්තයි විදුහල්පතිතුමයි දෙන්නම ඉල්ලපු ඉල්ලීම ඉෂ්ඨ කරනකන් මට නින්ද ගියෙත් නැහැ. තරග දිනනකම් ඒ දෙන්න කරපු ඉල්ලීම මගේ හිතේ තියාගෙන තමයි ක්‍රීඩා කළේ. ඒ නිසා තනියෙන් හරි මම තරගය දිනවනවාමයි කියන ශක්තිය තිබුනා. පිතිකරනයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් මට සාර්ථක වෙන්න පුළුවන් වුණේ අර සිදුවීම හිතේ තිබුණ නිසා.
මගේ ක්‍රිකට් ජීවිතයේ මට මුහුණ දෙන්න අමාරුම පන්දු යවන්නා වුණේ වසීම් අක්‍රම්. හැබැයි අක්‍රම් කියලා තිබුණෙත් පන්දු යවන්න අමාරුම පිතිකරුවා මමයි කියලා. ඒ නිසා දෙන්නට දෙන්නම අභියෝගයක් වෙලා තිබුණෙ. කොහොම හරි අපි දෙගොල්ලන් තරග කරන විට අක්‍රම් සහ මා අතර සටනක් තිබ්බා.
96 ලෝක කුසලාන දිනපු ශ්‍රී ලංකා කණ්ඩායම 99 දී අන්ත පරාජයකට ලක්විය. 2003 දී අරවින්ද සමුගත්තේය. මේ ඒ ගැන ඔහු සිහිපත් කළ ආකාරයයි. “99 ලෝක කුසලාන තිබ්බෙ එංගලන්තයේදී. අපි කිව්වා අපිට වේග පන්දු යවන්නන් පස්දෙනෙක්ව කණ්ඩායමට නම් කරලා දෙන්න කියලා. එදා හිටපු තේරීම් කමිටුව ඒක ඇහුව්වෙ නැහැ. වේග පන්දු යවන්නන් නැතිව එංගලන්තය වගේ වේගවත් තණතීරු තියෙන රටක ක්‍රිකට් ගහන්න අමාරුයි. අපි කියන දේට ඇහුන්කන් දුන්නෙ නැති නිසා මමයි අර්ජුනයි ඒ තේරීම්වලින් නැගිටලා යන්න ගියා. ඒ දුන්න කණ්ඩායමත් එක්ක දිනන්න බැහැ කියන එක දැනගෙන තමයි අපි ඒ ලෝක කුසලානට ගියේ.
2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට එන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. අවසන් පුර්ව තරගයේදී මම දුවද්දී දැවී ගියේ නැතිනම් තරගය දිනා ගන්න තිබ්බා. මොකද බ්‍රෙට් ලීටත් මම හොඳට බැට් කරලා තිබුණ වෙලාවක තමයි දුවද්දී දැවී ගියේ. එහා පැත්තෙ හිටියේ සංගක්කාර. පස්සෙ තරගය ඉවර වෙලා එයා ඇවිල්ලා කිව්වා අයියෙ මට සමාවෙන්න කියලා.
ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු අරවින්ද ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයෙක් සහ ක්‍රිකට් තාක්ෂණ කමිටු සභාපතිවරයෙක් වශයෙන්ද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දායකත්වය ලබා දුන්නේය.