කටුනායක ගුවන් තොටුපොළට ගිය රොෂාන් මහානාමට නොසිතූ බාධාවක්

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාළ නිල රාජකාරී කටයුතු සඳහා පාකිස්ථානය බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අදාළව නොසිතූ ගැටළුවකට මුහුණ දීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
මහානාම ඔහුගේ සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව සනාථ කර ඇති අතර ඔහුගේ පූර්ණ එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බවද එම ට්විටර් සටහනෙහි වැඩිදුරටත් සඳහන් කර තිබුණි. තමන් මෙරටදී කොරෝනා මර්ධනය සඳහා වන පළමු මාත්‍රාව ලබාගත් බවද රොෂාන් මහානාම පවසයි.තවද ඔහු එමගින් වැඩිදුරටත් පවසා ඇත්තේ සිය දෙවන සහ තුන්වන මාත්‍රා බ්‍රිතාන්‍යයෙන් ලබාගත් බවය.
නමුත් එකී අදාළ තොරතුරු මෙරට සෞඛ්‍ය අංශ විසින් නිසි පරිදි යාවත්කාලීන නොකිරීම හේතුවෙන් තමන් කටුනායක ගුවන් තොටුපොළේදී මෙවන් දැඩි අපහසුතාවයට පත්වූ බවද මහානාමගේ අදහසයි.
දැනගන්නට ඇති පරිදි මේ මස 27දා තෙක් පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා රොෂාන් මහානාම එරට බලා පිටත්වී ඇත.