හම්බන්තොට නගරාධිපති එරාජ් ඉල්ලා අස්වෙයි

හම්බන්තොට නගර සභාවේ නගරාධිපති ධුරයෙන් සහ සභික ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. අද පෙරවරුවේ පැවැති හම්බන්තොට නගර සභා මාසික රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කොට තිබූ අතර මේ සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දෙමින් එරාජ් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමා නගරාධිපතිවරයා ලෙස පත්කර තිබූ වසර 4ක නිල කාලය අවසන් වූ බැවින් හෘද සාක්ෂියට එකඟව එම තනතුරෙන් ඉල්ලා අස්වූ බවයි.
මෙරට පළාත් පාලන ආයතන වල නිල කාල සීමාව තවත් වසරකින් දිර්ඝ කරමින් රජයේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතත් හම්බන්තොට ජනතාව තමන් පත්කරන ලද්දේ වසර 4ක කාල සීමාවකට බැවින් තමන්ගේ සිතට එකඟව එම තනතුරේ රැඳී සිටිය නොහැකි නිසා මෙම තීරණය ගත් බව අප වෙත පැවැසූ හිටපු හම්බන්තොට නගරාධිපතිවරයා,
“ මම මෙම නගරාධිපති තනතුරෙන් ඉවත් වුවත් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු කරගෙන යනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව වර්තමානයේ දියත් කෙරෙන මඩ ව්‍යාපාරයන්ට එරෙහිව දේශපාලන කටයුතු කරන්න මට දැන් වැඩි ඉඩක් කාලයක් ලැබෙනවා. ඒ සඳහා චමල් රාජපක්ෂ අමාත්‍ය තුමා සමඟ එක්ව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන කටයුතු වෙනදාටත් වඩා වේගයෙන් ඉටුකරන්නයි මෙම ඉල්ලා අස්වීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ.“ යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.