බොරැල්ල මරදාන පාරේ පිහිටි රන් ආභරණ වෙළෙඳසලකට පෙරේදා (11 වැනිදා) සවස කඩාවැදුණු සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු වෙළෙඳසලට වෙඩිතබා එහි හිමිකරු ඇතුළු සේවකයන් භීතියට පත්කර රුපියල් තිස්පන් ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් රන් ආභරණ කොල්ලකාගෙන පලාගොස් ඇත.
රන් ආභරණ මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳසලට ඇතුළු වී ඇති කොල්ලකරුවන් දෙදෙනා පිස්තෝල එල්ල කර එහි හිමිකරු සහ සේවකයන් භීතියට පත්කර තිබේ.

පසුව රන් ආභරණ අලෙවිසලේ රාක්කවල අහුරා තිබූ රන් ආභරණ ගමන් බෑගයකට දමාගෙන ඇති කොල්ලකරුවන් දෙදෙනා එහි වහලට වෙඩි ප‍්‍රහාරයක් ද එල්ල කර පලාගොස් ඇත.

කොල්ලකරුවන් දෙදෙනා මුහුණු ආවරණය වන පරිදි හිස්වැසුම් සහ මුව ආවරණ පැළඳ සිට ඇති බව පොලිසිය පවසයි.
කොල්ලකරුවන් දෙදෙනා රන් ආභරණ කොල්ලකාගෙන යතුරුපැදියක නැගී පලායන අයුරු සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී තිබෙන අතර ඒ ඔස්සේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සහ බොරැුල්ල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.