විස්සයි20 ලෝක කුසලානයේදී ගරු සේවයකට ආ මහේලට ක්‍රිකට් ආයතනයෙන් රු. ලක්ෂ 30ක දීමනාවක්

 


ජාතික ක්‍රීඩා සභාවේ සභාපති සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන හට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 15,000ක දීමනාවක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රු. ලක්ෂ 30ක මුදලක්) අනුමත කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා රැස්ව මෙම මුදල අනුමත කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා සමග වූ සාකච්චාවකදී මහේල අදාළ ගිවිසුමේ වගන්තිවලට එකඟවී ඇති බව සඳහන් අතර, එම දීමනාව සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ කිසිවක් ප්‍රකාශ කර නොතිබුණි.
කෙසේ වෙතත් මහේල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වීමට පෙර මාධ්‍යයට පවසා සිටියේ තමන් පුහුණු උපදේශක ලෙස කිසිදු දීමනාවක් ලබා නොගන්නා බවයි.
එවැනි පසුබිමක හිටපු ශ්‍රී ලංකා නායකයාට මෙතරම් මුදලක් අනුමත කිරීම පිටුපස ගැටලුකාරී වාතාවරණයක් මතුව තිබේ. සත්‍ය වශයෙන්ම එම දීමනාව මහේල ලබාගත්තේද? එසේත් නොමැතිනම් මහේලව අපහසුතාවට පත් කිරීමේ අරමුණෙන් යම්කිසි පාර්ශවයක් මෙය සිදු කළේද? යන්න ඇත්තේ ගැටලුවකි.