අබුඩාබි වීරයා වනිඳු කුසලානත් උස්සයි

අබුඩාබි ටී 10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීට වනිඳු හසරංග ක්‍රීඩා කළ ඩෙකෑන් ග්ලැඩිටර්ස් කණ්ඩායම සමත් විය. ඒ දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කර දමමිනි.
අවසන් මහා තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ ඩෙකෑන ග්ලැඩිටර්ස් කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 159ක්ලබා ගත්තේය. එහිදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අර්ධ ශතක ලබා ගත් අතර ඇන්ඩ්‍රි රසල් පන්දු 32 කදී හයේ පහර හතක් සහ හතරේ පහර නවයක් සමග ලකුණු 90 ක් ලබා ගැනීම සුවිශේෂී වෙයි. අනෙක් ආරම්භක පිතිකරු ටොම් කෝලර් පන්දු 28 කදී ලකුණු 59 ක් ලබා ගත්තේය.
කෙසේ වෙතත් ඩ්වයින් බ්‍රාවෝගේ නායකත්වයෙන් යුත් දිල්ලි බුල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසනදී ලබාගත හැකි වූයේ කඩුලු 7 ට ලකුණු 103 ක් පමණි. එහිදී තරගාවලියේ වීරයා බවට පත්වූ වනිඳු හසරංග කඩුලු දෙකක් බිද දැමු අතර අවසන් තරගයේ වීරයා වශයෙන් ඇන්ඩ්‍රි රසල් සම්මාන දිනා ගත්තේය.
සමස්ත තරගාවලියේම වීරයා වූ වනිඳු හසරංග තරග 12 කදී කඩුලු 21 ක් ලබා ගත් අතර ඔහුගේ කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 9.28 කි. වනිඳු පන්දුවාරයකට ලබාදී ඇත්තේ දළ ලකුණු 8.47 කි. ඒ අනූව මෙවර තරගාවලියේ විශ්මිතම පන්දු යැවීම වාර්තා කිරීමටද ඔහු සමත් වූයේ ටී දහය තරගයකදී හොඳම පන්දුයැවීමද සටහන් කරමිනි.