පාසල්වල සියලුම උත්සව නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

කොවිඩ් -19 වසංගත තත්ත්වය මත පවතින අවදානම්කාරී හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදුකෙරෙන බවට තොරතුරු වාර්තා වී තිබීම හේතුවෙන්, පාසල්වල සියලුම උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස අධ්‍යාපන ලේකම්වරයා දන්වා තිබේ. ඒ අනුව සියලුම පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත අදාළ වනපරිදි ලිපියක් නිකුත්කරමින් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ බව දන්වා තිබේ.
මේ අනුව දැනට යම් පාසලක උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී නම් ඒ සියල්ල ද ඉදිරියේ සැලසුම්කර ඇති උත්සව ද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයාගේ ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.