පාස්කු ඉරුදින ප්‍රහාරයට දින 1000ක් සම්පුර්ණ වන දිනයේත් කාදිනල් හිමිපාණන් ගෙන් චෝදනා

2019 වසරේ අප්‍රේල් මස 21දා මෙරට කිතුනු දේවස්ථාන වෙත එල්ල කරන ලද පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදට දින 1000ක් සම්පුර්ණ වන අතර ඒ වෙනුවෙන් අද පැවැති දේව මෙහෙයකදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියේ කවුරුන් අපිව යට කරන්නට හෝ වුන දේ ඉතිහාසයෙන් මකා දමන්නට කොතරම් උත්සහ කරත් එය සාර්ථක නොවන බවයි.
දෙවියන්ට කන්නලව් කිරීමේ එම දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ තේවත්ත ලංකා අප ස්වාමී දූ ජාතික බැසිලිකාවේදී පැවැති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් කියා සිටියේ, පාස්කු ඉරුදින මිනීමැරුම සිදුවී අදට හරියටම දවස් 1000ක් සම්පූර්ණ වී තිබෙන බවත් මේ තරම් දුක් ඉවසා දරාගෙන සිටින්නට මනුෂ්‍යයන්ට පුළුවන් වුනේ කොහොමද කියලා තමාට පුදුම හිතෙන බවත්ය.

කොච්චිකඩේ හා කටුවාපිටිය දේවස්ථානවලදී බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලැබූවන් හා මියගිය අයගේ පවුල්වල අයද එක්ව සිටි මෙම අවස්ථාවට සහභාගී හූ කාදිනල් හිමිපාණෝ ,
“දුක් විඳින ජනතාවගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ ජනතාවට බොරු කරන්න හදන අයගේ බොරු එකින් එක හෙළිදරව් වෙමින් තියෙන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාදාමය තුළයි. අපේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍යය යටගහන්න හැදුවත් ජනතාව දවසින් දවස බලවත් වී පාලකයින් දවසින් දවස අවුල් සහගත තත්ත්වයකට පත්වෙන බව පැහැදිලියි. ඒ නිසා මේ වෙනකොට ජනතාව දිනන ලකුණු අපි හැමෝටම පෙනෙන්න පටන් අරන් තියෙනවා. බෝම්බය නම් දැන් ඉතින් පුපුරලා ඉවරයි. නමුත් දැන් පත්තුවෙන බෝම්බය නම්, ඒ මුස්ලිම් අන්තවාදීන් විතරක් එකතුවෙලා කරපු වැඩක් කියලා ලඝු කරලා යටගහලා ඇත්ත යටපත් කරන්නට බලවතුන් උත්සහ කෙරුවත් එන්න එන්නම ඇත්ත නම් බෝම්බය පුපුරමින් දැන් එළියට එනවා. සමහර නායකයන්ට ඕන කලේ දේශපාලන වාසි ලබාගැනීමට ප්‍රහාරය පාවිච්චි කරන්නැයි කියල දැන් පැහැදිළි වෙමින් තියෙනවා. ඇත්ත යට ගහන්න බැහැ. ඒක දියේ ගිල්වන්න හදන රබර් බෝලයක් වගේ.“ යනුවෙන් එහිදී වැඩිදුරටත් පැවැසූහ.