වනිඳුට සහ චමීරට අයිපීඑල් යන්න අවසර ලැබුණත් අවසන් තරග වරම් අහිමි වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර හිමිව තිබේ. කෙසේ වෙතත් යම් හෙයකින් ඔවුන් ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම අවසන් තරග සඳහා සුදුසුකම් ලැබුවහොත් ඔවුනට එම තරග අහිමි වෙයි. මීට හේතුව වනුයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග සඳහා ඔවුන් කැඳවා ඇති හෙයිනි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සඳහා අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුව සමග සාකච්ඡා කර ඊට අවසර ලබා දුන් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඒ අනුව ඔවුන් දෙදෙනාට සැප්තැම්බර් 15 වනදා සිට (දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් වීමෙන් පසු) අයි.පී.එල්. කණ්ඩායම් සමග එක් වීමට අවසර ලැබී තිබේ. කෙසේ වෙතත්, වනිඳුට සහ චමීර ශ්‍රී ලංකා සංචිතය සමග ලබන ඔක්තෝබර් 10 වනදා එක්වීමට නියමිතය. ඒ, අයි.සී.සී පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග දෙක වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන්.

මීට අමතරව ඔක්තෝබර් මස ආරම්භයේ පැවැත්වීමට නියමිත විස්සයි20 තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයද ඔවුන්ට අහිමි වී ඇත.