ගිලන් රථයෙන් පාතාලයේ කුඩු ඇදලත් වෙඩි කයි

  • වෙඩිකෑ රියැදුරා සලිදුගේ  කෝටි 100 ක කුඩු  ගිලන්රියෙන් ඇදලා



පානදුර මහ රෝහල ඉදිරිපිටදී පාතාල මැර පිරිසකගේ වෙඩි ප‍්‍රහාරයට ලක්වූ ගිලන්රථ රියැදුරා පානදුර ප‍්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සලි`දු නමැත්තාට අයත් රුපියල් කෝටි 100 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොග වරින්වර මෙම ගිලන් රථයෙන් ප‍්‍රවාහනය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ගිලන් රථ රියැදුරු මේ වනවිට පානදුර උතුර පොලිසිය භාරයේ පසුවන අතර මොහු පානදුරේ සලි`දු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතම ගෝලයකු ලෙස කාලයක් තිස්සේ කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රට වසා දමා තිබූ කාලසීමාවේ මෙම ගිලන් රථ රියදුරු දකුණු වෙරළ තීරයේ රහසිගත ස්ථානවලින් ලබාගන්නා හෙරොයින් තොග ගිලන්රථයේ පටවාගෙන පානදුරයට ගෙනැවිත් ඇති බව ද හෙළිවී ඇත.

පානදුරේ සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් රුපියල් කෝටි 45 ක හෙරොයින් තොගයක් යුද හමුදා වාහනයකින් කොළඹට ප‍්‍රවාහනය කරමින් සිටියදී හමුදා සාමාජිකයකු ද සමඟ ඉකුත් වසරේදී අත්අඩංගුවට ගෙන තිබිණි. එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීම සදහා පොලිසියට ඔත්තු ලබාදුන්නේ මෙම ගිලන් රථ රියැදුරු බව කියමින් සලිඳුගේ පාතාල මැරයන් පානදුර රෝහල ඉදිරිපිටදී ගිලන්රථය පදවාගෙන යමින් සිටි රියදුරුට වෙඩි තැබූ බව ද හෙළිවී තිබේ.

එහෙත් පිස්තෝලය කි‍්‍රයාත්මක නොවීම නිසා ගිලන් රථ රියදුරු වෙඩි ප‍්‍රහාරයට ලක් වූයේ නැත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් කළුතර අපරාධ කොට්ඨාසය සහ පානදුර උතුර පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට පැමිණි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නිවැරදි තොරතුරු සපයන පුද්ගලයකුට රුපියල් දසලක්‍ෂයක මුදල් ත්‍යාගයක් ලබාදීමටද පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු බවට පත්ව සිටින 26 හැවිරිදි පානදුරේ සලි`දු නමැත්තා මේ වනවිට රටින් පලාගොස් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු