ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට යන අතරේ ලක්මාලුත් ක්‍රිකට් පිටියෙන් සමුගනී

2022 වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණඩායමේ ඉන්දීය සංචාරය නිමවීමෙන් පසු තමන් සියලු ආකෘතීන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක හා වේග පන්දුයවන්නෙකු වන සුරංග ලක්මාල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

“මගේ වෘත්තීය ජීවිතය හැඩගස්වා ගන්නට සහ මගේ පෞද්ගලික දියුණුවට දායක වූ ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධ වීමට ලැබීම අතිශයින් සතුටට කරුණක් බැවින් මට මෙම විස්මිත අවස්ථාව ලබා දීම සහ මගේ මව්බිමේ ගෞරවය නැවත ගෙන ඒමට මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන මම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ණය ගැතියි. ” යනුවෙන් ලක්මාල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළ විශ්‍රාම යාමේ ලිපියේ සඳහන් කර ඇතත් විශ්‍රාම යාමට පැහැදිලි හේතු සඳහන් කර නොමැත.
“මගේ සියලුම ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, කණ්ඩායම් කළමනාකරුවන්, සහායක කාර්ය මණ්ඩලය, පරිපාලන කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සියලුම සහායක කාර්ය මණ්ඩලයට මම උපරිම ගෞරව කරනවා හැර අන් කිසිවක් නැත,” යනුවෙන්ද ලක්මාල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යවා ඇති එම ලිපියෙන් වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර තරග 5කින් යුත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. එම තරගාවලිය මේ මස11 වනදා ආරම්භවීමට නියමිතය.