ඇමැති හෙන්චයියන් වෛද්‍ය සිසුන්ට පහර දෙති

  • මගේ සම්බන්ධයක්  ඔප්පු වුණොත්  ඇමැතිකමෙන් යනවා- අරුන්දික කියයි

රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඊයේ (02 දා) අලූයම කඩා වැදුණු රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ සහචරයන් බව කියන පිරිසක් පොලූ මුගුරු බයිසිකල් චේන් යොදා ගෙන වෛද්‍ය ශිෂ්‍යයන්ට අමානුෂික ලෙස පහරදී ඇති අතර තුවාල ලැබූ ශිෂ්‍යයන් සිව්දෙනකු රෝහල් ගත කර ඇත.

\

මෙම ප‍්‍රහාරය සදහා මැර පිරිස පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ඇති පොල් සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක් අතහැර දමාගොස් තිබියදී පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

ප‍්‍රහාරයට පැමිණි එක් අයකු වෛද්‍ය ශිෂ්‍යයන් විසින් අල්ලා ගෙන පොලිසියට භාරදී ඇත.

මෙම ප‍්‍රහාරයට පැමිණි එක් අයෙකුගේ මුදල් පසුම්බියක් වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ වැටී තිබියදී සොයාගෙන ඇති අතර එම මුදල් පසුම්බිය අරුන්දික ප‍්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ පුද්ගලයකුට අයත් එකක් බව අනාවරණය වී තිබේ.

අරුන්දික ප‍්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ නමින් නිකුත්කර ඇති හැඳුනුම්පතක්ද මෙම මුදල් පසුම්බියේ තිබී සොයා ගෙන තිබේ.

මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍යයන් තිදෙනකු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම සිද්ධියේ තවත් පාර්ශ්වයකට සම්බන්ධ වෛද්‍ය ශිෂ්‍යයකු ද තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට රාගම වෛද්‍ය පීඨයේ තුන්වැනි වසරේ ශිෂ්‍යයකු සහ සිව්වැනි වසරේ ශිෂ්‍යයන් පිරිසක් අතර කාලයක සිට ආරවුලක් තිබී ඇත.

නවක වධය දීම සම්බන්ධයෙන් මෙම ආරවුල් හටගෙන තිබූ බව විමර්ශනවලින් හෙළිවී තිබේ. තුන්වැනි වසරේ ශිෂ්‍යයා රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා සමඟ සම්බන්ධයක් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඊයේ අලූයම 1.00 ට පමණ තුන්වැනි වසරේ ශිෂ්‍යයා මැර පිරිස සමඟ රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භූමියට පැමිණ ඇත.

පහළොස් දෙනකුගෙන් පමණ සමන්විත මෙම මැර පිරිස මෝටර් රථයකින් සහ වෑන් රථයකින් එහි පැමිණ තිබූ බව විමර්ශන වලින් හෙළිවී ඇත.

පසුව එම පිරිස ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි සිව්වැනි වසරේ ශිෂ්‍යයන් කාමර වලින් පිටතට කැ`දවා ඔවුන්ට අමානුෂික ලෙස පහරදී තිබේ.

මෙම සිද්ධියේදී තුන්වැනි වසරේ ශිෂ්‍යයාද සිව්වැනි වසරේ ශිෂ්‍යයන්ගේ පහරකෑමට ලක්වී තිබිණි.

මෙම ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ ශිෂ්‍යයන් කළ දැනුම්දීමකට අනුව රාගම පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානය වෙත පැමිණ ඇත.

එහිදී වෛද්‍ය ශිෂ්‍යයන් විසින් ප‍්‍රහාරයට පැමිණි පුද්ගලයකු සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත් මෝටර් රථය සිය භාරයට ගෙන පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම ප‍්‍රහාරයට පැමිණි පුද්ගලයන් අතරින් කීපදෙනෙකු මේ වනවිටත් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම ස`දහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන ආරම්භ කර ඇත.

කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතා ඊයේ පෙරවරුවේ රාගම වෛද්‍ය පීඨය වෙත ගොස් විමර්ශන කටයුතු කරගෙන යෑමට පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබිණි.

මෙම ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර අවට සවිකර තිබූ සී සී ටී වී කැමරා දර්ශන සහ වෛද්‍ය ශිෂ්‍යයන් තම ජංගම දුරකථන වලින් පටිගත කරගත් දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම ස`දහා රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගැනීමට අවස්ථා ගණනාවකදීම ‘‘දිවයින’’ උත්සාහ කළ ද රාජ්‍ය අමාත්‍යවරයා ඊට ප‍්‍රතිචාර දැක්වූවේ නැත.

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර පරිශ‍්‍රයේ සිදුවූ සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම මේකට සම්බන්ධයි කියලා ඔප්පු වුණොත් මම ඇමැති ධුරයෙන් ඉවත් වෙනවා’’ යැයි පොල්, කිතුල් තල් හා රබර් වගා ප‍්‍රවර්ධනය හා ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා ඊයේ (02) වැනිදා මාධ්‍ය හමුවේදී පැවසීය.

එසේම පොල් සංවර්ධන මණ්ඩලයේ සේවය කරන අයකු හෝ තමාට සම්බන්ධ බව කියන කව්රුන් හෝ මෙම සිද්ධියට සම්බන්ධවී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර පරිශ‍්‍රයේ සිදුවූ සිද්ධිය අද උදේ මට ආරංචි වුණා. එම සිද්ධියට පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් සහ රියැදුරකු අත්අඩංගුවට පත්වෙලා කියලා දැන ගන්න ලැබුණා. මේ සිද්ධියට අපේ නිලධාරියෙක් හරි මගේ කියන කව්රුන් හරි සම්බන්ධවෙලා තියෙනවා නම් ඒ අයට එරෙහි දැඩි විනය ක‍්‍රියාමාර්ග ගන්නවා. මම හැමදාමත් සාධාරණය පැත්තේ ඉඳගෙන වැඩ කරන කෙනෙක්. මේ ගැන සාධාරණ පරීක්‍ෂණයක් කරන්න කියා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.

හේමන්ත රන්දුණු