එංගලන්ත වේගපන්දු ක්‍රීඩක ලියම් ප්ලන්කට්ව ඇමෙරිකාව උස්සයි

එංගලන්ත වේගපන්දු යවන්නෙකු වූ ලියම් ප්ලන්කට් ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන් තිබේ. ඒ අනුව ඔහු මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියෙන් පසු සරේ ප්‍රාන්ත කණ්ඩායමෙන් ඉවත්ව ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

වසර 03ක කාලයක් සරේ කණ්ඩායම නියෝජනය කළ ඔහු 2019 වසරේ ලෝක කුසලානය ජයගත් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙකුද වේ.

හෙතෙම ඇමෙරිකානු මයිනර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (MiLC) දෙවන වාරය තුළදී සිය වෘත්තීය ක්‍රිකට් දිවියේ නව අදියරක් ආරම්භ කිරීමට නියමිත අතර අනතුරුව ඔහු ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත ප්‍රමුඛපෙළ ක්‍රිකට් තරගාවලියටද (Major League Cricket)  ක්‍රීඩා කිරීමට නියමිතය.

ඇමෙරිකානු මයිනර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඔහු ෆිලඩෙල්ෆියන්ස් (Philadelphians) කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

36 හැවිරිදි ලියම් ප්ලන්කට් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 13කදී කඩුලු 41ක්ද, එක්දින තරග 89කදී කඩුලු 135ක්ද විස්සයි20 තරග 22කදී කඩුලු 25ක්ද දවාගෙන ඇත.