අයිපීඑල් නව කණ්ඩායමක් මිලට ගන්න සුප්‍රකට අදානි සමාගම, සුපිරි බොලිවුඩ් නළු සල්මාන් කාන් සහ දකුණු ඉන්දීය නළු මෝහන්ලාල් ලංසු තබයි 

2022 අයිපීඑල් ක්‍රීඩා කරන්න අලුත් කණ්ඩායමකට ලංසු කැඳවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට (අයිපීඑල්) 2022 වසරේ සිට එක්වන නව කණ්ඩායම් දෙකෙන් එකක් මිලට ගැනීම සඳහා සුප්‍රකට අදානි සමාගම, සුපිරි බොලිවුඩ් නළු සල්මාන් කාන් සහ දකුණු ඉන්දීය නළු මෝහන්ලාල් ලංසු ඉදිරිපත් කර තිබේ. ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බීසීසීඅයි) ඒ සඳහා ලංසු කැඳවීමත් සමගිනි. ඒ අනුව අයිපීඑල් තරගාවලියේ මීළඟ අදියර සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් ගණන 10ක් දක්වා වැඩිවනු ඇත.

2022 වසරේ සිට අයිපීඑල් ක්‍රීඩා කරන්න එක්වන නව කණ්ඩායමක් මිලදී ගැනීමට නම් ඒ සඳහා එම කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක අයවැයක් කැප කිරීමට සිදුව තිබේ. මේ සඳහා ඉන්දීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගමක් වන අදානි සමාගම දැනටමත් කැමැත්ත පළ කර ඇත. මේ අතර සුපිරි බොලිවුඩ් නළු සල්මාන් කාන් සහ දකුණු ඉන්දීය නළු මෝහන්ලාල්ද අයිපීඑල් තරගාවලියේ නවවැනි කණ්ඩායම මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබේ.

මේ සඳහා අයදුම්කරුවන්ට ඔක්තෝබර් මස 05දා දක්වා ටෙන්ඩර් විස්තර ඉල්ලීමට හැකියාව පවතින අතර, දෙවන කණ්ඩායම සඳහා ලංසු තැබීම හෝ ටෙන්ඩර් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

නව කණ්ඩායම් දෙක කේන්ද්‍ර කර ගන්නා නගර කුමක්දැයි මෙතෙක් තීරණය කර නොමැති වුවද ඒ වෙනුවෙන් මේ වන විට නගර කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. ඒවා අතර අහ්මදාබාද්, ලක්නව්, ග්වහාටි, කොචි, පූනේ, රංචී සහ කටක් යන නගර වේ. මේ අතර මෙම එක් කණ්ඩායමක් හිමිකර ගැනීමට වැඩි වාසි පවතින අදානි සමාගම පිහිටා තිබෙන්නේ අහ්මදාබාද්හි වීම හේතුවෙන් අහ්මදාබාද් නගරය කෙරෙහි දැඩි අවධානයක් යොමුව ඇත.