හමුදා සෙබළා එක නිවසේ දිවිගෙවූ අනියම් බිරිඳ මරා නිවස පිටුපස වළදමලා…

ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ අඹගස්දෝව පොලිස් බල ප‍්‍රදේශයට අයත් ගල්කඩ, මැදහින්න ප‍්‍රදේශයේ මරා වල දමා තිබූ 36 හැවිරිදි දෙදරු මවකගේ මළ සිරුරක් (23දා) වැලිමඩ මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ජයසේකර මහතා ඉදිරියේ ගොඩ ගන්නා ලදී.

මෙසේ අමානුෂික ලෙස ඝාතනය කර තිබුනේ රමණි සේපාලිකා නැමති දෙදරු මවකි. මෙම තරුණිය මීට පෙර විවාහයක් සිදු කර ගෙන ඇති අතර පසුව ඇය එම විවාහය අතහැර සැකකාර හතලිස් හැවිරිදි හිටපු හමුදා සෙබළා සමග එකම නිවසක දිවි ගෙවා ඇත. එම හමුදා සෙබළාද තම නීත්‍යානුකූල බිරිඳ අතහැර සිටි අයෙකු වන අතර මෙම අනියම් විවාහයෙන් මොවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් වයස අවුරුදු පහේ සහ තුනේ පසුවන අය වෙති. අඹගස්දෝව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද විමර්ශනවලදී සිද්ධිය සම්බන්ධව තොරතුරු හෙළිව තිබේ.