නුගේගොඩදී සිදු වූ රිය අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

අද උදෑසන (20 වැනිදා) නුගේගොඩ ගුවන් පාලම මත පෞද්ගලික බස් රථයක් සහ යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂය ට පත්ව ඇති අතර තවත් හමුදා සෙබලුන් දෙදෙනෙකු තුවාල ඇති බව වාර්තා වේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සෙබළ වන අතර අනතුරින් තුවාල ලැබූ හමුදා සෙබලුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.