ආනන්දය ආනන්ද කොඩිතුවක්කු කුසලාන දිනයි

ආනන්ද කොඩිතුවක්කු ගුරු පියාණන් විසින් ශූරතාව ලබාදුන් අවස්ථාව...
  • තරගයේ වීරයා ආනන්ද ශාස්ත්‍රාලයේ තීක්ෂණ

ආනන්ද කොඩිතුවක්කු කුසලාන වෙනුවෙන් මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සහ මතුගම සීඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහල අතර පැවැති වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරගයේ ශූරතාව දිනා ගැනීමට (28 දා) ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල් කණ්ඩායම සමත් විය.
මතුගම මහජන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ කන්නන්ගර විදුහල ලකුණු 111 කට සීමා කිරීමට ආනන්ද ක්‍රීඩකයන් සමත් වූ අතර ඔවුන් අදාළ ඉලක්කය කඩුලු පහක් පමණක් අහිමිව ලබා ගනිමින් ආනන්ද කොඩිතුවක්කු කුසලාන කනිෂ්ඨ ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය.
ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ වසර 15 කට වැඩි කාලයක් සහ සහ සීඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ජාතික පාසලේ වසර 15 ක කාලයක් ගණිත ගුරුවරයකු මෙන්ම ක්‍රිකට් භාර ආචාර්යවරයකු වශයෙන් අනුපමේය සේවයක් ඉටු කළ ආනන්ද කොඩිතුවක්කු ගුරු පියාණන් වෙනුවෙන් මෙම තරගය නම් කර තිබුණි. මීට පෙරද ආදි ආනන්දියන් සහ ආදි කන්නන්ගර දෙවිදුහල අතර ආනන්ද කොඩිතුවක්කු අභියෝගතා කුසලාන තරගයක් පවත්වා තිබුණි.

තරගයේ අනුග්‍රහකත්වය වෙනුවෙන් මතුගම ගාමිණී මාවතේ පිහිටි ‘සරසි’ පොත්හල මෙන්ම වරාය අධිකාරි යාන්ත්‍රික ඉංජිනේරු සම්පත් කළුතන්ත්‍රි මහතාගේ දායකත්වය ලබාදී තිබුණි. පාසල් දෙකේ කණිෂ්ට ක්‍රීඩකයන්ට ආනගතයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් හපන්කම් දැක්වීමට මෙවැනි තරග සංවිධානය කිරීම ඔවුන්ට දිරිදීමක් වී තිබේ.

ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල් කණ්ඩායම

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15 න් පහළ දෙවැනි කොටසේ තරගයක් වශයෙන්ද මෙය පැවැත්වීම තවත් විශේෂත්වයකි. මෙම තරගයේ ත්‍යාග බෙදාදීම සඳහා සහභාගි වූ උපාලි තිලකරත්න මහතා තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයන් නම් කරන ලදී.
තරගයේ හොඳම පිතිකරුවා වශයෙන් ආනන්ද ශාස්ත්‍රාල කණ්ඩායමේ වෙනුර (35 නොදැවී) සම්මාන ලැබූ අතර පන්දු යවන්නා වශයෙන් කන්නන්ගර විදුහලේ සෙතික සහ හොඳම පන්දු රකින්නා වශයෙන් එම විදුහලේ තියුගි සම්මාන ලැබීය. තරගයේ වීරයා සම්මානයෙන් ආනන්ද ශාස්ත්‍රාලයේ තීක්ෂණ සම්මාන ලැබු අතර ඔහු පන්දු යැවීමෙන් (48/6) සහ පිතිකරණයෙන් (21) ආනන්ද විදුහල ඔසවා තැබීමට සමත් විය.

ලකුණු සාරාංශය
කන්නන්ගර විදුහල පන්දුවාර 19 ට සියල්ල දැවී ලකුණු 111 යි
ආනන්ද ශාස්ත්‍රාලය පන්දුවාර 26ග4 කදී කඩුලු 5 ට ලකුණු 113 යි

මතුගම සීඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහල