උසස් පෙළ විභාගය කල්දමන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්

පෙබරවාරි මස 7 වනදා ආරම්භ කිරීමට නියමිත 2021 වසරට අදාළ අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද කාලසටහන ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා තිබූ අතර ඒ හේතුවෙන් සිසූන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පාඩුවක් සිදුවූ බවය.
උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර විභාග අපේක්ෂකයින් හට සති 20ක කාලයක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
අදාළ විෂය නිර්දේශ පවා නිසි පරිදි සම්පුර්ණ කර ගැනීමට නොහැකි වූ බවද පෙන්වා දෙන පෙත්සම්කරු, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුනිල්.ජේ. නවරත්න මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
නාගානන්ද කොඩිතුවක්කු මහතා තවදුරටත් චෝදනා කරමින් කියා සිටින්නේ අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර සිසුන්ට සති 20 ක කාලයක් ලබා දිය යුතු බවට ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ද රජය වෙත නිර්දේශය කර තිබුණ ද එම නිර්දේශය අධ්‍යාපන අමාත්‍යාංශය සහ අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇති බවය.