කොළඹ නගර සීමාවේ සැක කටයුතු තාවකාලික පදිංචිකරුවන් 2746 දෙනෙකු සොයා ගැනේ

පසුගියදා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ තාවකාලික පදිංචිකරුවන් ඇතුළු ආයතන හඳුනාගැනීමේ තොරතුරු රැස්කිරීමේ මෙහෙයුමෙන් අනතුරුව බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවලට ද එම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ තාවකාලික පදිංචිකරුවන් සහ මෑත කාලීන මෙහෙයුමේදී නිවැරදි තොරතුරු ලබා දීමට අපොහොසත් වූවන් ලියාපදිංචි කිරීමට පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.
කොළඹ නගරය තුළ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රජයේ හෝ පෞද්ගලික පරිශ්‍ර, ඉදිකිරීම් ස්ථාන ආදියෙහි පදිංචිව සිටින සියලුම තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු රැස්කිරීම සඳහා බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාශය ජනවාරි මස 14,15 සහ 16 යන තෙදින කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මෙහෙයුමක් දියත් කර තිබුණි. .
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ කොළඹ ප්‍රදේශය තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ආරම්භ කර ඇති අතර මෙහෙයුම සඳහා නිලධාරීන් 600කට අධික පිරිසක් යොදවා තිබුණි.
මෙම මෙහෙයුම් වලදී කොළඹ නගර සීමාවේ සැකකටයුතු තාවකාලික පදිංචිකරුවන් 2746 දෙනෙකු පදිංචිව සිට ඇති බව පොලිසිය සොයා ගෙන ඇත.
එමෙන්ම, කොළඹ නගර සභා සීමාව තුළ නිවාස 26,747 ක, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රජයේ හෝ පෞද්ගලික පරිශ්‍ර සහ ඉදිකිරීම් ස්ථාන වල තොරතුරු නිලධාරීන් විසින් රැස් කරන ලදී.
පොලිසිය මේ වනවිට තාවකාලික පදිංචිකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරමින් සිටින බවත් එම මෙහෙයුම කඩිනමින් අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත කරන බවත් පැවැසේ.