- අපේ රටේ බිහිවුන ක්‍රිකට් නායකයන්ගෙන් හොඳම මොළය තිබුණෙ රන්ජන් මඩුගල්ලට
- ෆයිනල් එක දවසෙ ඇඟට පොඩ්ඩක් වෙනසක් දැනුණා. පොඩි ප්‍රෙෂර් එකක් ආවා
අසේල විතාන
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යෝද බල යෝධ ශක්තිය ලබාදුන් නායකයන් කවුරුන්ද කියා විමසුවහොත් විවාදයකින් තොරවම එහි මුලසුන අර්ජුන රණතුංගයන් හට හිමිවේ. මෙරටට සිහිනයක් වූ 1996 ක්‍රිකට් ලෝක කුසලාන යථාර්තයක් කළ අර්ජුනගේ ක්‍රිකට් දිවියේ අපිනොදන් රහස් බොහොමයක් ඔහු සතුය.
අර්ජුන ලොව වැඩිම එක්දින සංඛ්‍යාවක් මෙහෙවූ නායකයන් අතර පෙරමුණේ රාළ කෙනෙකි. අර්ජුන විසින් එක්දින තරග 193 ක් මෙහෙයවා තරග 89 ක් ජයගෙන ඇති අතර එහි ජයග්‍රාහී ප්‍රතිශතය 48.37% ක් වශයෙන් වාර්තා වේ. මෙරට ක්‍රිකට් පිටියේ ආදරණීය ලෝකු අයියා යන නාමය ඔහුට තදින්ම ගැලපෙන්නේ තමාගේ කණ්ඩායමේ සියලු දෙනාටම සහෝදරයකු වූ බැවිනි. මේ අර්ජුන පවසන ඔහුගේ ක්‍රිකට් දිවියේ අපි නොදන්න කතාය.
“මම වයස අවුරුදු 14 වෙනකොට ආනන්ද විදුහලේ දෙවැනි පෙළ කණ්ඩායමට සෙල්ලම් කළා. අවුරුදු 15 වෙනකොට පළමු පෙළ කණ්ඩායමට සෙල්ලම් කළා. ආනන්දයේ පළමු පෙළ ක්‍රීඩා කරමින් සිටියදී 1980 වසරේදී ඉන්දියාවේ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලංකාවට ආවා. ඒ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ රවී ශාස්ත්‍රි. ඒ තරගයේදී ටෙස්ට් තරග දෙකක් තිබුණා මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී. මම එහිදී ශතකයක් ගැහුවා.පාසල් කාලයේ කොතරම් ලකුණු ගහලා තිබ්බත් ඒ තරගයේදී ක්‍රීඩා කරපු ආකාරය දැකලා තමයි තේරීම් කමිටු නිලධාරීන්ට මම ගැන අදහසක් ආවෙ. ඊට පස්සෙ 1980/81 කාලයේදී අපි එංගලන්තයට ගියා වයස අවුරුදු 19 න් පහළ තරගාවලියකට. මම ගොඩක් වාසනාවන්ත වුණා හොඳ පුහුණුකරුවන් යටතේ පොඩිකාලයේ ඉඳලම ක්‍රිකට් ඉගෙන ගන්න. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ලයනල් මෙන්ඩිස්, පී.ඩබ්ලිව්. පෙරේරා, පොළොන්නෝවිට කියන මහත්වරු අපිව නිසි මාර්ගයේ යවපු නිසා ඒ කාලයේ ආනන්දයෙන් ගොඩක් කට්ටියට ජාතික කණ්ඩායමට ආවා. නාලන්දයෙත් හොඳ ගුරුවරු හිටපු නිසා ඒ පාසලෙනුත් ගොඩක් කට්ටිය ජාතික කණ්ඩායමට ආවා.
1982 දී ජාතික කණ්ඩායමට එන්න කලින් මට පුහුණු තරයක් හම්බ වුණා. ඒ තරගයේදී මම ලකුණු එකසිය තිස් ගාණක් ගැහුවා. දෙවැනි මැච් එකේදි ලකුණු 49 ක් ගහලා හිටිද්දී දුවද්දී දැවී ගියා. ඊට පස්සෙ සභාපතිගේ කණ්ඩායමට නම් කරලා තිබුණ තරගවලදිත් හොඳට කරපු නිසා තේරීම් කමිටුව මාව පළමු ටෙස්ට් තරගයට නම් කළා. එතනදි මට තිබුණ වාසිය තමයි මැද පෙළ බැට් කරන්න එක වමත් පිතිකරුවෙක්වත් හිටපු නැති එක. පළමු තරගයේදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් මගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ ගොල්ලන් කිව්වෙ මම පොඩි ළමයෙක් ඔයාගේ සාමාන්‍ය ක්‍රීඩා විලාශයෙන් ක්‍රීඩා කරන්න කියලා. කොහොම හරි පනහක් ගැහුවා. පළමු ටෙස්ට් තරගය ඉවර වෙලා ඉස්කොලෙට ගියාම ප්‍රධාන රැස්වීම් ශාලාවේදි මම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ගාමිණී දිසානායක මහත්තයත් ඒකට ආවා.
“පලමුටෙස්ට් තරගය ගහනකොට එංගලන්ත කණ්ඩායම හිටියෙ කොළඹ තියෙන සුපිරි හෝටලයක. අපිව දාලා තිබුණෙ පොඩි හොස්ටල් එක. මාවයි රවී රත්නායකවයි දාලා තිබුණෙ එක කාමරය. ඒ කාමර හරි පොඩියි. එක්කෙනෙක් කාමරයේ ඇවිදින කොට අනික් එක්කෙනා ඇඳට වෙලා ඉන්න ඕන. නුවර මැච්වලට ගියත් අපි හිටියෙ සාමාන්‍ය හෝටල්වල. ඒ වගේ ඉතිහාසයක ඉඳලා තමයි අපි ආවෙ. හැබැයි අපි ඒ සැප පහසුකම් ගැනවත් අපිට හම්බවෙන රුපියල් 250 ගැනවත් ඒ කාලේ හිතුවෙ නැහැ.
පළමු ටෙස්ට් තරගයේදී පනහක් ගහපු අර්ජුන රණතුංගට කෙටි කාලයකින් කණ්ඩායමේ ස්ථානය අහිමිව ගියේය. නැවත ඔහු කණ්ඩායමට පැමිණියේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ උපක්‍රමශීලිකම හේතුවෙනි. “83 දී මාව කණ්ඩායමෙන් අයින් කරලා තිබුණෙ. ඒ කාලෙදි ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් ලංකාවේ පුහුණුකරු වෙලා ආවා. සර් ගාෆීල්ඩ් සෝබරස් අහලා තිබු අර්ජුන රණතුංග කණ්ඩායමේ නැත්තෙ මොකද කියලා. ඊට පස්සෙ මාව පුහුණු සංචිතයකට කැඳෙව්වා. එතනදි පුහුණු තරග දෙකක් තිබ්බා. පළමු පුහුණු තරගයේදි මම අංක හත පිතිකරු විදිහට ක්‍රීඩා කළේ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැටියට. දෙවැනි මැච් එකේදි මම පන්දු තිහකට පනහක් ගැහුවා. ඊට පස්සෙ මොරටුවෙ තිබුණ තුන්දින තරගයකට මාව නම් කළා. මම ගම්පහ ඉඳලා බස් එකේ මැච් එකකට ගියාම සර් ගාෆීල්ඩ් සෝබර්ස් කිව්වා ඔයා අද මැච් එක ගහන්නෙ නැහැ කියලා. මම හිතන්නෙ මට තේරීම් කමිටුවෙන් ඒ කාලෙ තිබුණ ප්‍රශ්න නිසා තුන් දින තරගය ගහලා ටෙස්ට් කණ්ඩාඩායමට ගේනවට වැඩිය කෙළින්ම ටෙස්ට් තරගයට ගේන්න හිතාගෙන තමයි මට එදා ගෙදර යන්න කිව්වෙ. මොකද තුන්දින තරගයේදී බැරිවෙලාවත් ෆේල් වුණොත් ටෙස්ට් තරගයට නොදා ඉන්නත් තිබ්බා. කොහොම හරි මාව ටෙස්ට් තරගයට නම් කළා. ඒ තරගයේදී කඩුලු හතරක් ගිහිල්ලා තිබුණ වෙලාවෙදි මම ගිහින් ලකුණු 54ක් ගැහුවා. ඊට පස්සෙ සර් ගාෆීල්ඩ් සෝබර්ස් කිව්වා මම මගේ වැඩේ කළා. දැන් තියෙන්නෙ ඔයාට ඔයාගේ ක්‍රිකට් අනාගතය හදාගන්න එක කියලා. මම හිතන්නෙ මගේ ක්‍රිකට් දෙවැනි ගමනේ හරි අත්තිවාරම වැටුණෙ එතනදි.
අර්ජුන රණතුංගයන්ගේ ක්‍රිකට් දිවියටම වසර ගණනාවක තහනමක් වැටීම ගිය අවස්ථාවක් අනූ නවයෙන් බේරුණි. ඔහු පාසල් ක්‍රීඩකයකු සමයේදී බන්දුල වර්ණපුරලා ගිය දකුණු අප්‍රිකානු සංචාරයට අර්ජුනටද ඇරයුම් ලැබුණි. නමුත් එදා සිටි ජ්‍යෙෂ්ඨයන් මෙරට අනාගත ක්‍රිකට් පරපුරට අවශ්‍යම කරන සාධකය ඉතිරි කරමින් තහනම් දකුණු අප්‍රිකානු සංචාරය පිටත් විය. එදා අර්ජුනව නැවැත්තුවේ බන්දුල වර්ණපුර සහ රෝයි ඩයස්ය.
“මට අවුරුදු 23 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය ලැබුණා. එතකොට නායකයා වුණේ දුලිප් මෙන්ඩිස්. දුලිප් නායකත්වයෙන් සමුගන්නකොට තේරීම් කමිටුව මට කතා කරලා කිව්වා ඊළඟට නායකත්වය රන්ජන් මඩුගල්ලට දෙනවා කියලා. මම ඒකට ගොඩක් කැමැති වුණා. මොකද මට තව කල් තියෙන නිසා. රන්ජන් වැනි නායකයෙක් එක්ක වැඩ කිරීමට ලැබීම ලොකු භාග්‍යයක්. මම එතනදී නායකයකු ලෙස වැඩ කළ යුතු ආකාරය ඔහුගෙන් ඉගෙන ගත්තා. රන්ජන් මට ඒ කාලෙ හුඟක් වගකීම් භාර දුන්නා. මම හිතන විදිහට අපේ රටේ බිහිවුන ක්‍රිකට් නායකයන්ගෙන් හොඳම මොළය තිබුණෙ රන්ජන් මඩුගල්ලට.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් (800) දවාගත් පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ට එවැනි හපන්කමක් දක්වන්නට හැකි වුයේද අර්ජුන නායකත්වය නිසාය. නැතිනම් ඩැරල් හෙයා වැනි විනිසුරුවන්ගෙන් මුරලිට එල්ල වූ තාඩන පීඩන හමුවේ ඔහු ක්‍රිකට් නවතා දමන්නට සැරසුණද අර්ජුන එයට ඉඩ නොදුන්නේය.
“එදා මුරලිදරන් පන්දුව දමා ගසන බවට ඩැරල් හෙයාර් සංඥා කරනකොට මම හිටියෙ ඩේරසින් රූම් එකේ. මගේ කකුලෙ ආපු පොඩි ආබාධයකට එළියට ගිය වෙලාවෙ තමයි ඔය සිදුවීම ඇති වුණේ. ඒ වෙලාවෙ කණ්ඩායම මෙහෙයවමින් සිටියෙ අරවින්ද. සිදුවීම ඇති වුණ ගමන්ම මම පිට්ටනියට ගිහිල්ලා නීතිය පැත්තෙන් මොකක්ද කරන්න ඕන කියලා කල්පනා කළා. මොකද නීතිය හරියට ක්‍රියාත්මක කළේ නැතිනම් මුරලි නැත්තටම නැති වෙන්න තිබුණා. එතනදි අපි මුරලි පරිස්සම් කරලා දෙපැත්තටම පන්දුව දාන්න මුරලිට උපදෙස් දුන්නා. එතනදි අපි පෙන්නුවා මුළු ලෝකෙටම මුරලිට ආසාධාරණයක් කරන්නෙ කියලා.”
අපි හුඟක් ප්ලෑන් කරලා මුරලිට කිව්වා විනිසුරුවරයාගේ පස්සෙන් ගිහිල්ලා බෝල් කරන්න පාදඟ පන්දුවක් යවන්න කියලා. සාමාන්‍යයෙන් පා දඟ පන්දුවක් යවනකොට අත නමන්න බැහැ. තාක්‍ෂණය අනුවත් නිගමනයකට ඇවිල්ලා තියෙනවා පා දඟ පන්දුවක් දමලා ගහන්න බැහැ කියලා. ඉතින් මුරලි යවපු පා දඟ පන්දුවත් නිපන්දුවක් කියලා ඩැරල් හෙයාර් සංඥා කළා. පා දඟ පන්දුවට නෝ බෝල් කිව්වහම මම ගිහිල්ලා කිව්වා මෙයා දැම්මෙ පා දඟ පන්දුවක් ඒක කොහොමද දමලා ගහනවා කියල අල්ලන්නෙ කියලා. ඒත් ඩැරල් හෙයාර් කිව්වෙ නැහැ මෙයා දැම්මෙ එහෙම බෝලයක් නෙමෙයි කියලා. අපි මුළු ලෝකෙම දැක්කා රූපවාහිනී ප්‍රතිරූපණ වලිනුත් මුරලි යැව්වෙ පා දඟ පන්දුවක් කියලා.
ආයිත් 98 දිත් මුරලිට ඔය ප්‍රශ්නෙම ආවා. එතනදි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා ඒ වගේම ක්‍රීඩා ඇමැතිව සිටි එස්.බී.දිසානායක මහත්තය ාමට පෞද්ගලිකවම කතා කරලා ඇහුව්වා මොනවද වෙන්න ඕන කියලා. ඒ දේශපාලන නායකයන් එදා මට කිව්වා ඕන තීරණයක් අරන් දමලා ගහලා ආයිත් ලංකාවට එන්න කියලා. ඒ කට්ටියට බයක් තිබ්බා මාව තහනම් කරයි කියලා. බැරි වෙලාවත් එදා මාව තහනම් කළානම් තරගාවලිය නවත්තලා කණ්ඩායම සමග ලංකාවට එන්න කියලා කිව්වා. අපිට අසාධාරණයක් වෙන වෙලාවෙ අපි තනියම නෙමෙයි කියන හැඟීම මට එතනදි ආවා.
එදා බැරිම තැන මම පිට්ටනියෙන් කණ්ඩායමත් එක්ක එළියට යන්න ආවා. හැබැයි හතරේ සීමාවෙන් එහාට කවුරුත් යන්න එපා කියලා මම කට්ටියට කිව්වා. මොකද මට බයක් ආවා එදා අපි හැමෝම එළියට ගියානම් කට්ටියටම තරග තහනමක් එයි කියලා. පස්සෙ මම විතරක් එළියට ගියා. එතකොට තහනම එන්නෙ මට විතරයිනෙ. ඇත්තටම මම එහෙම කළේ මේ අය වැරදි දෙයක් කරන්නෙ කියලා ලෝකෙට පෙන්නන්න. ටෝනි ග්‍රෙග්, ඉයන් චැපල්, ඉයන් බොතම් වගේ විස්තර විචාරකයනුත් අපි වෙනුවෙන් කතා කළා. ඒකත් අපිට ශක්තියක් වුණා මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න.
මුරලිගෙ ප්‍රශ්නෙත් එක්ක මට ගොඩක් ප්‍රශ්න ආවා. අයි.සී.සී. එකෙන් ප්‍රශ්න ආවා. ඒ වෙලාවෙ මුරලි ඇවිල්ලා මට කිව්වා අයියෙ මම ගෙදර යන්නම් අයියට මම නිසා ප්‍රශ්න එනවා කියලා. එතනදි මම මුරලිට කිව්වෙ මට එන ප්‍රශ්න මම බලාගන්නම් ඔයා හොඳ මානසිකත්වයේ ශක්තිමත් වෙලා ඉන්න එතකොට මේ ප්‍රශ්නෙන් අපිට ගොඩ යන්න ලෙහෙසියි කියලා.
ඒ කාලෙ හැම ප්‍රාන්තයකටම යන කොට අපි ඩිනර් ඩාන්ස් එකක් ලෑස්ති කරනවා. ඇඩිලේඩ් මැච් එක ඉවර වෙලා අපිට ඩිනර් ඩාන්ස් එකක් ලෑස්ති කරලා තිබ්බා. ඒකට අරවින්දත් එක්ක කණ්ඩායම යවලා මමයි රංජිත් ප්‍රනාන්දු සහ රෝයි ඩයස් පරක්කු වෙලා ගියා. මම පරක්කුවෙලා ගියේ ඔස්ටේ්‍රලියාවෙ ඉන්න හොඳම නීතිඥයන් සමග මුරලිගෙ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරපු නිසා. හැබැයි මට එතනට ගිහිල්ලා පැයක් ඇතුළත ඇවිල්ලා ආයිත් නිතිඥයන් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න වුණා.
මට තේරුණා මුරලිව මේ සිදුවීමත් එක්ක ගොඩක් මානසිකව වැටිලා කියලා. කොහොම හරි ඊළඟ මැච් එකේදි අපි මුරලිව එළියෙන් තිබ්බා. පස්සෙ අතිරේක ක්‍රීඩකයකු විදිහට පන්දු රකින්න ගෙනාවා. ඒ විතරක් නෙමෙයි පිට්ටනියෙන් එහාදිත් අපි මුරලිත් එක්ක හිටියා. මම කොහේ හරි උත්සවයකට යනවනම් මුරලිවත් එක්කගෙන යනවා. අරවින්දත් ඒ දේ කළා. රොෂාන්. හෂාන් සහ ගුරුසිංහත් මුරලිව යන යන තැන එක්ක ගියා. ඒ කාලේ ජ්‍යෙෂ්ඨයන්ගෙ පුදුම ලෙන්ගතුකමක් තිබ්බෙ අනිත් ක්‍රීඩකයන් ගැන.
ඕපන් කරන්න අදි මදි කළ සනත් ජයසූරියට අර්ජුනගෙන් ගැලවීමක් නැතිවෙයි
ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු පන්දුවාර 15 ට වේගයෙන් පහර දෙන කලාව හඳුන්වා දීමට සුදුසු පිතිකරු යුගලක් නිර්මාණය කළේද අර්ජුනය. ඒ සනත් සහ කළුවිතාරණ සුසංයෝගයයි. “සනත් ඒ කාලෙ බැට් කළේ නොම්බර හතේ හෝ අටේ. අපේ සංජීව රණතුංග ඇවිල්ලා මට හැම තිස්සෙම කියනවා බලන්න අයියේ සනත්ගෙ බැටින් හොඳට තියෙනවා. ඇයි මෙයාව මෙච්චර පල්ලෙහා ගස්සන්නෙ කියලා. එයා තමයි මුලින්ම මට මේ ගැන කිව්වෙ. ඊට පස්සෙ ඩුබායි සංචාරයකදී අපේ කවුරු හරි අසනීප වුණා. ඒ වෙලාවෙ මම සනත්ගෙන් ඇහුව්වා අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙන්න කැමැතිද කියලා. සනත්ගෙ කැමැත්තක් තිබුණෙ නැහැ ඒකට. ඒත් ඉතිං මම දෙයක් කිව්වොත් අනිවාර්යයෙන් කරන්න ඕන. සනත්ට කෙළින්ම බැහැ කියන්න බැරි පාර මට කිව්වා “මම එතන ගහලා නැහැ හැබැයි ඉතිං අයියා කියනවනම් මම ගහන්නම් කියලා.” ඒ මැච් එකේදි සනත් 60 ක් ගැහුවා. ඒ වෙලාවෙ මට තේරුණා මෙයා පළමු ඕවර 15 දි හොඳට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඊළඟ දවසෙ මම කතා කරලා ඇහුවා ඕපන් කරන්න කැමැතිද කියලා. ඒත් අදි මදි කළා. මම කිව්වා එදා ඔයා තුන්වැනි ඕවරයේදි බැට් කරන්න ගියේ. ඒක පළමු ඕවරයේ බැට් කරන්න ගියා වගේ තමයි. ඒක නිසා ඕපන් කරන්න කියලා. පස්සෙ ටෙස්ට් තරගයේදිත් සනත්ව ඕපන් කෙරෙව්වා. ඒකෙදි එයා සියයක් ගැහුවා. පස්සෙ කළුව ඕපන් කරන්න ගත්තෙ 94 කාලයේදි එයා පස්සෙන් ඇවිල්ලා හොඳට බැට් කරන නිසා. පස්සෙ මම දුලිප් මෙන්ඩිස්ට කතා කරලා කිව්වා අපි කළුව පාවිච්චි කරනවා මදි මෙයාව ඕපන් කරමුද කියලා. ඒකට වට්මෝර්ගෙ කැමැත්තක් තිබුණෙ නැහැ. එයා කිව්වා කළු පස්සෙන් හොඳට ගහන නිසා අපරාධයක් කියලා.
“කළුට කතා කරලා ඇහුවාම එයා කිව්වා මම ඕපන් කරලා නැහැ බැරි වෙලාවත් මම අසාර්ථක වුණොත් මොකද වෙන්නෙ කියලා කළු බය වුණා. මම කළුට කිව්වා ඔයා ෆේල් වුණොත් ඒක මම බලාගන්නම් මම තේරීම් කමිටුවත් එක්ක කතා කරන්නම් කියලා. ඔයා ෆේල් වුණොත් ඔයාගෙ සුපුරුදු තැන දෙන්නම් කියලත් කිව්වා. ඊට පස්සෙ දවසෙ එයාට නෙට් එකේ අලුත් බෝලෙට ගහන්න දුන්නා. කළුත් ඕපන් කරපු පළමු මැච් එකේදිම 60 ක්ද කොහේ ගැහුවා.
කණ්ඩායමේ නායකයකුටත් එහා ගිය සත්කාරයන් තම කණ්ඩායමේ සඟයන්ට ඉටු කළ අර්ජුන එදා හැමදෙනාගෙම ලොකු අයියා විය. “මමත් ඉස්ස ගම්පහ ඉදන් කොළඹට ක්‍රිකට් ගහන්න ආපුවහම නැවතිලා හිටියෙ මරදානෙ ඥාති ගෙදරක. පස්සෙ ඒ ගෙදර පිට පළාත්වලින් ආපු ගොඩක් ක්‍රීඩකයන්ව මම නවත්ත ගත්තා. සමහර දවස්වලට දහයක් පහළොවක් විතර ඉන්නවා. ඒ සියලු දෙනාට අපේ අම්මා තමන්ගේ දරුවකු මෙන් සැලකුවා. අපි එදා මැද සාලයේ පැදුරක් දාගෙන කට්ටියත් එක්ක නිදා ගන්නවා. උදේට වැසිකිළි යන්න කට්ටිය පෝළිමේ ඉන්නවා. හැමදාම කමිස කලිසම් දහයක් පහළොවක් වැලේ තියෙනවා.
මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසිකම ජයග්‍රහණය 1996 දී සටහන් වුයේ අර්ජුන රණතුංගගේ විශිෂ්ඨ නායකත්වය නිසාය. ඔහු ඒ සඳහා ලක ලෑස්තිවුයේ වයස දෙකකට පෙර සිටය. “මම අවුරුදු එකහමාරක් තිස්සෙ ලෝක කුසලාන සඳහා විසි දෙනෙක්ව ලැහැස්ති කරගෙන හිටියා. කොහොම හරි ලෝක කුසලාන තරගාවලියේදි අපිට ගොඩක් ශක්තියක් වුණා අරවින්ද සහ සනත් ජයසුරිය. මොකද ඒ දෙන්න බැට් කරනවා විතරක් නෙමෙයි ඕනම වෙලාවක පන්දු යවන්නත් පුළුවන්. බැරි වෙලාවත් ටිකක් හයියෙන් බෝල් කරන්න මමයි ගුරුසිංහයි හිටියා. ධර්මසේනටත් බැට් කරන්නයි බෝල් කරන්නයි පුළුවන්. වාස්ටත් බෝල් කරන්න විතරක් නෙමෙයි බැට් කරන්නත් පුළුවන්. උපුල් චන්දනත් එහෙමයි. ඒ වගේ තුන් ඉරියව් ක්‍රීඩකයන් සිටීම කණ්ඩායම තෝරා ගන්න ලොකු පහසුවක් වුණා.
මට එදා ලොකු හයියක් වුණේ තේරීම් කමිටුවත් එක්ක වැඩ කරන්න තිබුණ ලේසිය. මොකද එ තේරීම් කමිටුවේ හිටියේ දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, රන්ජන් මඩුගල්ල සහ සිදත් වෙත්තමුණි. මේ අයත් එක්ක වැඩ කරන්න ලේසියි. හැබැයි මම ගිහිල්ලා එක පාරටම මේ ටීම් එක මට දෙන්න කිව්වට මේ අය දෙන්නෙ නැහැ. ඒ ගොල්ලන් මගෙත් එක්ක ප්‍රශ්න කරනවා ඇයි මෙයා ඉන්නෙ අරයා නැත්තෙ කියලා. ඉතිං මම දැනගන්න ඕන ඒ ප්‍රශ්නවලට හරියට හේතු සමග උත්ත දෙන්න. විශේෂයෙන් රන්ජන්. ඔහුට හුඟක් හොඳ ක්‍රිකට් දැනුමක් තිබුණා. ඒක මට හොඳට හිටියා. මොකද තේරීම් කමිටුව කියන්නෙ නිතරම මට අභියෝගයක්. ලංකාවේ හිටිය හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් තේරීම් කමිටුවක් තමයි එදා හිටියෙ.
96 දී අපි දිනයිද කියලා විශ්වාසයක් තිබ්බෙ නැහැ. හැබැයි අපි ඉන්දියාවට ගැහුවට පස්සෙ තමයි කට්ටියට ලෝක කුසලාන දිනන්න පුළුවන් කියන හැඟීම එන්න ගත්තෙ. තරගාවලියේ ක්‍රීඩා කරන විලාශය අනූව මගෙ ඔළුවෙ ටිකක් තිබ්බා මේක දිනන්න පුළුවන් වෙයි කියලා. ඒත් අනිත් කට්ටියට මම ඒක කියන්න ගියොත් ඒ ගොල්ලන් මානසික පීඩනයට ලක්වෙන හින්දා සද්ද නොකර ඒ අයගෙ කටින්ම ලෝක කුසලාන දිනන්න පුළුවන් කියන මතය එනකම් බලාගෙන හිටියා.
අපි ඉන්දියාවට ගැහුවට පස්සෙ උුපුල් චන්චන, රවීන්ද්‍ර පුෂ්පකුමාර වගේ කණ්ඩායමේ ඉන්න පොඩිම කට්ටිය කියන්න පටන් ගත්තා අපිට මේක දිනන්න පුළුවන් කියන එක. අපේ බැටින් හොඳයි, අපේ තමයි ගොඩක් හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයන් ඉන්නෙ කියලා ඒ අය කිව්වා. හැබැයි වාස් ප්‍රමෝද්‍ය වගේ අය කරන්න ඕන දේ කරලා දුන්නා. ධර්මසේන ඕවර 15 යන්න කලින් ඇවිල්ලා බෝල් කරනවා. එයා කියනවා අයියා මම දාන්නම් කියලා බෝලෙ ඉල්ලගෙන බෝල් කරනවා. මට තිබුණ හයිය තමයි මේ දේ කරන්න ඕන කියලා කිව්වහම හැම එක්කෙනාම අත උස්සලා ඒ අභියෝගය භාර ගන්න ඉදිරිපත් වෙන එක.
කවුරුත් බලාපොරෝත්තු වුණේ නැහැ අපි අවසන් මහා තරගයට එයි කියලා. අවසන් තරගයට ආවට පස්සෙ මම අපේ කට්ටියට කිව්වෙ අපි එන්න ඕන ඉහළම තැනට ඇවිල්ලා ඉන්නෙ ඒක නිසා පීඩනයක් නැතිව ක්‍රීඩා කරන්න කියලා. අපි ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ දුර්වල තැන් මොනවද කියලා නැරඹුවා. ෆයිනල් මැච් එකේදි අපි මුලින්ම බැට් කරන්න ඕන කියලා අරවින්දයි ඩේව් වට්මෝර් කිව්වා. අනිත් හැමෝම කිව්වා අපි මෙච්චර කල් ගොඩක් දිනලා තියෙන්නෙ පස්සෙ බැට් කරලා ඒක හින්දා එහෙම කරමු කියලා. තවත් සමහරු කිව්වා ඉතාහසේ ෆයිනල් මැච් එකක් පස්සෙ බැට් කරලා කවුරුත් දිනලා නැහැ කියලා. ඒ පාර මම කිව්වා අපි ඉතිහාසයේ අලුත් දෙයක් කරමු දෙවැනියට පන්දුවට පහර දෙමු කියලා. මම හිතන්නෙ එදා මුලින්ම ඔස්ටේ්‍රලියාව ලකුණු 270 ක් හෝ 300 ක් ගැහුව්වත් අපිට ඒක ඒක එලවන්න පුළුවන් පිතිකරු ලැයිස්තුවක් හිටියා කියලා. නමුත් පන්දු යැවීමේදී 270 ක් ආරක්ෂා කරගන්න පොඩි ප්‍රශ්නයක් තිබ්බා.
ෆයිනල් එක දවසෙ අර්ජුනට ‘ෆ්‍රෙෂර්’
ෆයිනල් එක දවසෙ ඇඟට පොඩ්ඩක් වෙනසක් දැනුණා. පොඩි ප්‍රෙෂර් එකක් ආවා. මම හිතන්නෙ ඕනම ජගතෙකුට ඔය ප්‍රෙෂර් එක එනවා. ඒක ඇඟට දැනෙනවා. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. මම ෆයිනල් එකට දවස් දෙකකට ඉස්සර වෙලා අම්මට කතා කරලා කිව්වා ලංකාවෙන් මැච් එක බලන්න එන කට්ටියට ගුවන් යානයක් ලැහැස්ති කරලා තියෙනවා ඒකෙ මැච් එක බලන්න එන්න කියලා. පස්සෙ අම්මා කිව්වා සනීප නැහැ ඕවට ගොඩක් සල්ලි යනවා කියලා අදිමදි කරන්න ගත්තා. මම අම්මට කිව්වා ෆයිනල් එකක් බලන්න තියෙන අවස්ථාවක් මේක. හැබැයි අම්මගෙ පුතෙක් ලෝක කුසලාන ෆයිනල් එකක් ගහනවා බලන්න ඉස්සරහට තව අවස්ථා එන්න පුළුවන් ඒත් අම්මගෙ පුතෙක් කැප්ටන් කරලා කප් එක උස්සන වර්ල්ඩ් කප් එකක් බලන්න ආයිත් චාන්ස් එකක් අම්මට එන්නෙ නැහැ කියලා. ඒ අවස්ථාව නැති කරගන්නෙ නැතිව එන්න කියලා අම්මට කිව්වම අම්මයි මගේ බිරිඳ සමදරයි පුතයි කට්ටියම මැච් එක බලන්න ආවා.
මැච් එක දවසෙ උදේ මට පොඩි පීඩනයක් තිබ්බා. කන්න යනකොට රොෂානුයි හෂානුයි කන්න යනවා. මමත් ඒගොල්ලන් එක්ක කන්න හදනකොට අපේ අනිත් කට්ටිය කවුරුවත් පේන්න හිටියෙ නැහැ. හැබැයි ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ හැමෝම ඇවිල්ලා කනවා දැක්කා. එතන තිබ්බා කාපට් ප්‍රදර්ශනයක්. අපේ කට්ටියත් එතන ඉන්නවා. එතනදි මට හිතුණා අපේ කට්ටියට ෆයිනල් එක කියලා ෆ්‍රෙෂර් එකක් නැහැ ඒක ඔළුවෙ දාගෙන නැහැ කියලා. ෆයිනල් එකට කලින් දවසෙ කණ්ඩායම් දෙකට ඩිනර් එකක් තිබ්බා. කණ්ඩායම් දෙකේම තිහක් විතර එතන හිටියා. මම එක කෙළවරක. අනිත් කෙළවරේ මාර්ක් ටේලර්. හැබැයි ලෝක කුසලාන තිබ්බෙ මගේ ඉස්සරහා. ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ කට්ටිය ඇවිල්ලා පින්තූ ගහනවා. හැබැයි අපේ කට්ටිය එහෙම පින්තූර ගන්න උවමනාවක් තිබුණෙ නැහැ. එතනට ඇවිල්ලා හිටපු ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් සභාපති මගෙන් ඇහුවා ඇයි ඔයගොල්ලන්ගෙ කට්ටිය පින්තූර ගන්නෙ නැත්තෙ කියලා. මම කිව්වා මේක අපි ලංකාවට ගෙනිච්චම ඕන තරම් පින්තූ ගන්න පුළුවන් කියලා.
ෆයිනල් එක දවසෙ රෑ මමයි දුලිප් අයියයි මැච් එක තියෙන ක්‍රීඩාංගණයට ගියා ටැක්සියක. ඒක කවුරුත් දන්නෙ නැහැ. අපි ගියේ රෑට පින්න වැටෙනවද කියලා බලන්න. ලාහෝර් ක්‍රීඩාංගණයේ එදා හිටියේ 83 හිටපු තණතිලි සකසන්නම තමයි. ඔහු මට කියන්නෙ රනා කියලා. ඔහු මගෙන් ඇහුවා රනා ඔයාට මොන වගේ තණතීරුවක්ද ඕනෙ කියලා. මම කිව්වා අපිට හොඳට බැට්කරන්න පුළුවන් එකක් දෙන්න කියලා.
ඒ තරගයට කලින් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම මානසිකව වට්ටන්න පුළුවන් අපිට කළා. මාධ්‍ය සාකච්ඡාවලදි අපි උපරිමයෙන් ඔස්ටේ්‍රලියාවට එරෙහිව කරන්න පුළුවන් දේවල් කළා. වෙනදට ඒ ගොල්ලන් අපිට කරන දේවල් අපි මේ පාර ඒ ගොල්ලන්නට කළා. ෆයිනල් එක පටන් ගන්න පැයකට ඉස්සර වෙලා මම කිව්වා මේක ඔළුවට ගන්නෙ නැතිව සුපුරුදු විදිහට ක්‍රීඩා කරන්න කියලා. මම මුලින්ම කණ්ඩායමත් එක්ක පිට්ටනියට යනකොට රෝ පුටුවක ආබාධිත අයෙක් ඉස්සරහට හමුවුණා. හැබැයි ඒක මම අහම්බෙන් දැක්කෙ. ඔහුගෙ මුණෙ හිනාවෙන් ඇත්තටම අපේ ජය වෙනුවෙන් සුබ පතන එක්කෙනෙක් කියලා පේන්න තිබ්බා. මම එයාට අතට අත දීලා තමයි පිට්ටනියට ගියේ. ඊට පස්සෙත් මට ඒ මනුස්සයව හම්බ වෙලා මම අපේ ඩේරසින් රූම් එකටත් ගෙනාවා. එයා හැම මැච් එකක්ම බලන එක්කෙනෙක්.
කොහොම හරි 99 ලෝක කුසලාන කිට්ටු වෙනකොට කණ්ඩායමේ ලොකු ප්‍රශ්න ආවා. කට්ටියකට ඕන වුණා අපිව අයින් කරන්න. දේශපාලනය රිංගුවා. ඔයාට ඊළඟට කැප්ටන් කරන්න පුළුවන් කියලා එක එක මත හැදුවා. හැබැයි 99 දී යනකොට 96 දී තිබුණ එකමුතුකම තිබුණෙ නැහැ. මම කොච්චර ඒක ගොඩනගන්න හැදුවත් කණ්ඩායමක් හැටියට එකට සෙල්ලම් කරන්න බැරිවුණා. කාසියේ වාසිය පැරදුණා. හැම පැත්තෙන්ම වාසනාව තිබුණෙ නැහැ.
99ලෝක කුසලාන ඉවර වෙලා එනකොට මට අයින් වෙන්න කියලා කිව්වා. මම ඇහුවා ඇයි මම විතරද මේකට වැරදි කියලා. ඊටපස්සෙ මට කවදාවත් එක්දින තරග ගහන්න දුන්නෙ නැහැ. ටෙස්ට් තරග විතරයි දුන්නෙ. ක්‍රිකට් ආයතනයේ කට්ටියට ඕන වුණා මාව ලැජ්ජා කරලා එලවන්න. 2000 දී තමයි මට මේ හරියටම තේරුණේ. මම අන්තිම ටෙස්ට් තරගයේදිත් හොඳට කළා. හැබැයි හුඟ දෙනෙක් කැමැති වුණේ නැහැ මම අයින් වෙනවට. සමදරයි සංජීව මල්ලි කිව්වා අයියා අයින් වෙන එක හොඳයි ඔයාට ලොකු කැපිල්ලක් එනවා කියලා.
මට ටෙස්ට් තරග 100 ක් ගහන්න ඕන වුණා. එක්දින තරග 300 ක් ගහන්න ආසාවක් තිබ්බා. ඒක මට කරන්න දුන්නෙ නැහැ. දැන් ආපහු හැරිලා බලනකොට මගේ ක්‍රිකට් ජීවිතය ගැන මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. අනිත් අයට වඩා මම තරග දිනවලා තියෙනවා. මම වෙනම ක්‍රිකට් සංස්කෘතියක් හැදුවා. ඒ නිසා මට රටේ ජනතාව තවම ආදරය කරන්නෙ මම ගහපු 100 හෝ පනහට නෙමෙයි. මම ක්‍රිකට්වලට කරපු හොඳ දේවල් නිසා.