මහ රෑ උස්සන් ගිය ඇෆ්ගන් කාන්තාවන්…

ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන දහස් සංඛ්‍යාත කාන්තාවන් මර්දනය කිරීමට තලේබාන් රජය නීති විරෝධී ලෙස බලය පාවිච්චි කරමින් සිටී. එරට කාන්තාවන්ගේ අධ්‍යාපනය, ඇඳුම් පැලඳුම් සහ සමාජ ඇසුර අසීමිත ලෙස සීමා කිරීමට තලේබාන් රජය පියවර ගැනීම හේතුවෙන් ලිබරල්වාදී සිතුම් පැතුම් ඇති එරට බොහෝ කාන්තාවන් රජයට එරෙහිව වීදි බැස සිටින්නේ පසුගිය වසරේ සිටය.

ඇෆග්නිස්තානයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියන් වන තමානා පර්යානි, පර්වානා ඉබ්‍රාහිම්කේල් සහ තවත් කාන්තාවෝ රැසක් මේ වන විට අතුරුදන් වී සිටිති. මේ අභිරහස් අතුරුදන් වීම් පසුපස තලේබාන් සංවිධානය සිටින බව එරට කාන්තාවෝ පවසති.

කාන්තා හඬ යටපත් කිරිමට සහ මර්දනය කිරීමට මෙවැනි නීති විරෝධී අතුරුදන් කිරීම් සිදු කරමින් සිටින තලේබාන් සංවිධානය ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තම රජය කාන්තාවන් අත්අඩංගුවට නොගන්නා බවය.

තලේබාන් රජයේ මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ විරෝධතා වර්ධනය වෙමින් තිබෙන අතර, ආරක්ෂාව සම්බන්ධව උද්ගත වී ඇති අවදානම පසෙකලා කාන්තාවන් මෙසේ වීදි බැසීම අද වනවිට තලේබාන් රජයට හිසරදයක් බවට පත් වී ඇතැයි ද වාර්තා වේ.

පර්යානි සහ පර්වානා පසුගිය ජනවාරි 16 වැනිදා කාබුල් නුවර පැවැති විරෝධතාවකට සහභාගි වී ඇති අතර, එය පැවැත්වූයේ කාන්තාවන්ට එරෙහිව පනවා ඇති දැඩි නීතිරීතිවලට සහ විරෝධතා මැඬපැවැත්වීමට තලේබාන් සංවිධානය නීතිය අවභාවිත කිරීමට එරෙහිවය. ඇසින් දුටු සාක්ෂි පවසන්නේ ජනවාරි 19 වැනිදා රාත්‍රියේදී තලේබාන් සංවිධානයේ සාමාජිකයන් යැයි කියනු ලබන අවිගත් පුද්ගලයන් පිරිසක් පැමිණ පර්යානිගේ නිවෙසේ දොර කඩා බිඳ දමා ඇය පැහැරගෙන ගිය බවය. ඇය සමඟ ඇගේ සොයුරියන් තිදෙනා ද පැහැර ගැනීමට ලක් වී ඇත. ආයුධ සන්නද්ධ පුද්ගලයන් තම නිවෙසේ දොර කඩා බිඳ දැමීමට මොහොතකට පෙර පර්යානි සමාජ මාධ්‍ය ජාලයට වීඩියෝ පටයක් මුදා හරිනු ලැබුවාය. පර්වානා පැහැර ගැනීමට ලක් වූයේ ද ඒ සමාන සිදුවීමකදීය. ඔවුන් සිටින ස්ථානය පවා මෙතෙක් අනාවරණය වී නැත.

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට එරෙහිව තලේබාන් රජය නීතිරීති පනවනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ 15 වැනිදා එරට බලය අත්කර ගැනීමත් සමඟය. කාන්තාවන්ට රැකියාවල නිරතවීම සීමා කිරීමටත්, දැරියන්ට ද්විතීය අධ්‍යාපනය ලැබීම තහනම් කිරීමටත් කටයුතු කළ තලේබාන් සංවිධානය සාමාකාමී ලෙස විරෝධාතා ව්‍යාපාරයේ නිරත වූ කාන්තාවන්ට පහර දුන්නේය. මේ සිදුවීම් අන්තර්ජාතික මට්ටම කරා යෑම අවහිර කිරිමේ අරමුණින් මාධ්‍ය වාරණයක් ද පැනවීමට කටයුතු යොදා තිබූ අතර, එම වාරණය උල්ලංඝනය කළ මාධ්‍යවේදීන්ට පහර දුන් බවත්, ඇතැම් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත් බවත් පසුව වාර්තා විය. මේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදුවූයේ හිටපු රජයේ නිලධාරීන් මර්දනය කරමින් සිටි පසුබිමකදීය.

තලේබාන් නිලධාරීන් සහ ඇතැම් බටහිර රටවල නියෝජිතයන් අතර පසුගිය 23 වැනිදා නෝර්වේ ඔස්ලෝ නුවර පැවැති සාකච්ඡාවක් අතරතුර ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක වන හුඩා කමෝෂ් ප්‍රසිද්ධියේම තලේබාන් විදේශ ඇමැති අමාර් ඛාන්ට කියා සිටියේ අත්අඩංගුවට ගත් කාන්තාවන් වහාම නිදහස් කරන ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් තලේබාන් විදේශ ඇමැතිවරයා තලේබාන් සංවිධානයේ එවැනි පුද්ගලයන් ද සිටින බැවින් ඔවුන් මෙවැනි සිදුවීමකට හවුල් වන්නට ඇති බවය. කාන්තාවන්ගේ අතුරුදන් වීම සම්බන්ධව විමර්ශනයක් සිදුවෙමින් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

එහෙත් ඔහුගේ ප්‍රකාශය මුළුමනින්ම බිඳ වැටුණේ ඊට පසුදින තලේබාන් මාධ්‍ය ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් සිදු කළ ප්‍රකාශයත් සමගය. ඔහු කියා සිටියේ තලේබාන් රජයට එරෙහි ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට අයිතියක් ඇති බවය.

පරස්පර විරෝධී ප්‍රකාශ දෙකක් නිකුත් කිරීමෙන් තලේබාන් රජය අන්තර්ජාතික වශයෙන් තවදුරටත් අපකීර්තියට පත්වී සිටින අතර, තවදුරටත් කාන්තා ක්‍රියාකාරිනියන්ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටී. පැහැරගැනීම සහ අතුරුදන් කිරීම ඔවුන්ගේ දෛනික ක්‍රියා පිළිවෙතක් බවට පත් වී තිබේ.

ඔවුන් පැහැරගත් කාන්තාවන් කොන්දේසි විරහිතව නිදහස් කරමින් කාන්තා නිදහස රට තුළ සහතික කළ යුතුව ඇත. නෝර්වේ ඇතුළු තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කරන රටවල් ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද නීතිය අවභාවිත කිරීම වහාම නවත්වන ලෙස තලේබාන් රජයට බල කළ යුතුව ඇත.