යුද හමුදා හා නාවුක හමුදා විරුවන් දෙදෙනා නල්ලතන්නියට

රණක්ෂිතයට පත් වූ වීරෝධාර රණවිරුවන්ගේ චිත්ත ධ්‍යෛර්ය නැංවීම අරමුණු කරගෙන, තම දෑස් අහිමි වූ හා පාදයක් ආබාධිත වූ යුද හමුදා හා නාවුක හමුදා විරුවන් දෙදෙනා අද (06) පස්වරු 02.30 ට පමණ ශ්‍රී පාද පුද බිමේ නල්ලතන්නියට ළගා වූහ.

දසක තුනකට ආසන්න කාලයක් දිවයිනේ  පැවති කුරිරු යුද්ධයේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැද රණක්ෂිතයට පත් වූ වීරෝධාර රණවිරුවන්ගේ චිත්ත ධ්‍යෛර්ය  නැංවීම අරමුණු කරගෙන, තම දෑස් අහිමි වූ හා පාදයක් ආබාධිත වූ  යුද හමුදා හා නාවුක හමුදා විරුවන් දෙදෙනෙකු නාගදීප රජමහා විහාරයේ සිට සිරිපා කරුණා කරමින් කතරගම කිරි වෙහෙර පූජා භූමිය දක්වා කිලෝ මීටර් 1000 කට අධික දුර ප්‍රමාණයක්  පාද යාත්‍රාවේ යෙදෙමින් පවත්වන “අධිෂ්ඨානයේ පාද යාත්‍රාවේ” 15 වන දින අද (06) පස්වරු 02.30 ට පමණ ශ්‍රීපාද පුද බිමේ නල්ලතන්නියට ළගා වූහ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ, ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්.ඩබ්.වී.පියතිස්ස හා ශ්‍රීලංකා නාවුක හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි බී.එම්.ඩබ්.කුමාර යන මෙම රණවිරුවන් දෙදෙනා 1999 වසරේදී ක්‍රියාන්විතයේදී යුද ආබාධිතයින් බවට පත් වී ඇත.

එහිදී කොප්‍රල් කේ.ඩබ්.වී. පියතිස්ස රණවිරුවාගේ දෑස් අන්ද වී ඇති අතර බී.එම්.ඩබ්.කුමාර රණවිරුවාගේ  පාදයක් ආබාධිත වී තිබේ. මෙම ආබාධිත රණවිරුවන් දෙදෙනා නොවැම්බර් මස (22) වන දින යාපනය නාගදීප විහාරයෙන් පාද යාත්‍රාව ආරම්භ කර අනුරාධපුර ශ්‍රීමා බෝධිය වන්දනා කර  මහනුවර ශ්‍රී දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ගම්පොල, නාවලපිටිය, ගින්ගත්හේන, නෝටන්බ්‍රීජ් හරහා මාවුස්සාකැලේ සමන් දේවාලය අසලට අද (06) ප.ව. 01.00 ට පමණ ළඟා වූහ.

මාවුස්සාකැලේ සමන් දේවාලයේදී රණවිරුවන් දෙදෙනා වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ, 19 වෙනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ, ලක්ෂපාන යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.නිලන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් මත දෙවන අණ දෙන නිලධාරි මේජර් සිසිර විජේතුංග මහතා ඇතුලු යුද හමුදා නිලධාරීන් පිරිසක් විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වනු ලැබුවේ බුද්ධ වන්දනාවෙන් අනතුරුවය.

අනතුරුව මෙම රණවිරුවන් පිරිස ආබාධිත රණවිරුවන් දෙදෙනා සමග පාද යාත්‍රාව ශ්‍රීපාද පුද බිමේ නල්ලතන්නිය නගරයට අද ප.ව. 02.30 ට පමණ ළඟා වූහ.

මෙම ආබාධිත රණවිරුවන් දෙදෙනා සමග පාද යාත්‍රාවේ පැමිණි යුද හමුදා හා නාවුක හමුදා භට පිරිස අද රාත්‍රී  ලංකා විදුලි බල මණ්ඩලයට අයත් මාවුස්සාකැලේ “සමනළ අරණ” විශ්‍රාම ශාලාවේ ලැගුම් ගෙන හෙට අළුයම 04.00 ට පමණ ශ්‍රීපාද වන්දනාව සඳහා පාද යාත්‍රාව ආරම්භ කිරිමට නියමිතය. ශ්‍රීපාද වන්දනාවෙන් අනතුරුව පාද යාත්‍රාවේ ගමන් කරමින් අත්තනගලු රජමහා විහාරය, කැළණිය විහාරය හා කළුතර බෝධිය වන්දනා කිරීමෙන් පසුව කතරගම කිරි වෙහෙර වන්දනා කර කිලෝ මීටර් 1000 කට   වැඩි ප්‍රමාණයක් ගමන් කර අධිෂ්ඨාන පාද යාත්‍රාව මෙම මස  (28) වන දින නිමා කිරිමට නියමිතය.

ශ්‍රීපාද පුද බිමේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම ආබාධිත රණවිරුවන් දෙදෙනා කියා සිටියේ,  ඉතිහාසයේ සිට මේ දක්වා ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් හා හෙළයේ විරුවන් සිහි ගන්වමින්  හා අනෙකුත් රණවිරුවන් දිරි ගැන්වීම අරමුණු කරගෙන මෙම අධිෂ්ඨාන පාද යාත්‍රාව ආරම්භ කළ බවය.

තමන්ට පාද යාත්‍රාව ආරම්භයේදී ආශීර්වාද කළ බුද්න්වහන්සේගේ පාදස්පර්ශය ලැබූ නාග විහාරායේ, විහාරාධිපති නායක හිමියන්ට විශේෂ ස්තූතියක් පුදකරන බවත් ඔව්හූ කීහ. ශ්‍රීලංකා නාවුක හමුදාවේ හා යුද හමුදාවේ සෙන්පතිවරුන්ට හා ජ්‍යෙෂ්ඨ,  කණිෂ්ඨ නිලයන්වල සැමට හා පාද යාත්‍රාව ගමන් කළ මග දෙපස සිට ආශීර්වාද කරමින් දිරිගැන් වූ සැමට තමන්ගේ හද පිරි ස්තූතිය පුද කරන බවත් මෙම රණවිරුවන් දෙදෙනා අවසන් වශයෙන් සඳහන් කළහ.