මේ විදියට ප‍්‍රශ්න ඇහුවොත් මටත් පිස්සු හැදෙයි – සන්දීප්ගේ පියා උසාවියේ හඬා වැටෙයි

පාඨලී චම්පික රණවක මහතා අතින් සිදුවූ රිය අනතුරින් බරපතළ තුවාල ලබා වසර හයක් තිස්සේ රෝද පුටුවක සිටින අපේ පුතා අපෙන් ජීවිතය ඉල්ලා සිටිනවා. මට කවදා ද දෙපයින් නැගිටින්න ලැබෙන්නේ යැයි විමසමින් හඬා වැටෙන එම දරුවාගේ කඳුළු දකින අපි හැමදාම මැරි මැරී උපදිනවා යැයි සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයාගේ පියා  කොළඹ මහාධිකරණය හමුවේදී කඳුළු වගුරමින් ප‍්‍රකාශ කළේය.

2016.02.28 වැනිදා රාතී‍්‍ර රාජගිරිය ප‍්‍රදේශයේදී තරුණයකු රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක, ඔහුගේ රියැදුරු ලෙස කටයුත කළ තුසිත දිලූම් කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල යන විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබූ නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (18දා) කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදී පැවැත්විණි.

එම නඩුවේ පළමුවැනි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා නැ`ගූ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් දයානන්ද ගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය.

ගරු ස්වාමීනි, විත්තියේ නීතිඥ මහත්තයා මගෙන් දැන් පැය භාගයක් විතර තිස්සේ මගෙන් දිගින් දිගටම අහනවා පුතා එදා පැදවූ යතුරු පැදිය ගැනයි ඒකෙන් රක්ෂණ ආවරණ ලබාගැනීම ගැනයි. පුතා අනතුරට පත්වෙලා මාසයක් විතර කාලයක් මමයි මගේ බිරිඳයි හිටියේ කොළඹ ජාතික රෝහල ගාව. විත්තියේ නීතිඥ මහත්තයා කියනවා වගේ රක්ෂණ වන්දි ගන්න හෝ ඒ ගැන හිතන්න යහපත් මානසික තත්ත්වයක් අපිට තිබුණේ නෑ. මේ විදියට ප‍්‍රශ්න අහන්න ගියොත් මටත් මෙතනදීම පිස්සු හැදෙයි.

එම නඩුව ඊයේ (18දා) කැඳවූ අවස්ථාවේදී සිය සේවා දායකයා වෙනුවෙන් පෙනී සිටීමට මෙයට දින කිහිපයකට පෙර තමා පත්කර ඇති බැවින් ඉතා අත්‍යවශ්‍ය ලේඛන කිහිපයක් ලබාගන්නා තෙක් සාක්ෂි විභාගය කල් තබන ලෙස පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එලෙස නීතිඥවරුන් මාරුවන අවස්ථාවලදී නඩුව කල් තැබීම පැමිණිල්ලට කරන අසාධාරණයක් වන බැවින් ඒ සඳහා අවසර ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දක්වා ඇති විරෝධය සළකා බැලූ විනිසුරුවරයා විත්තියේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යෑමට නියෝග කළේය.

වැඩිදුර විභාගය ලබන මාර්තු 7 වැනිදා දක්වා කල් තැබිණි. නීතිඥ ජයබා කළුපහන, නීතිඥ මාර්ක් ඇන්ටන්, ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක