HIV: ලොව පළමුවරට ආසාදිත කාන්තාවක් වෛරසයෙන් මිදෙයි

HIV වැළඳී හිඳ සුවය ලැබූ ලොව තෙවන පුද්ගලයා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, ඇය මෙම වෛරසයෙන් මිදුනු පළමු කාන්තාව බව ද විශ්වාස කෙරේ.

ලියුකේමියාව සඳහා ප්‍රතිකාර ලබමින් සිටි ඇයට ප්‍රතිකාරයක් ලෙස බද්ධ කෙරුණු මූලික සෛල ලබාගෙන ඇත්තේ, ඒඩ්ස් රෝගකාරක වෛරසයට ස්වභාවික ප්‍රතිරෝධයක් ඇති අයෙකුගෙනි.

මෙම කාන්තාව වෛරසයෙන් මිදී දැනට මාස 14කි.

නමුත් විශේෂඥයන් පවසන්නේ, පෙකණි වැලේ රුධිරය සම්බන්ධකර ගෙන සිදුකෙරුණු සෛල බද්ධ ක්‍රමය HIV ආසාදිත බොහෝදෙනෙකුට සුදුසු නොවන තරම් අවදානම්සහගත ක්‍රමයක් බව යි.

පෙබරවාරි 15 දා ඩෙන්වර්හි පැවති වෛද්‍ය සම්මන්ත්‍රණයක දී මෙම රෝගියාගේ සිද්ධිය ඉදිරිපත් කරන ලද අතර, මෙම ක්‍රමය HIV සඳහා කෘත්‍යයාත්මක ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ බවට වාර්තා වූ පළමු අවස්ථාව මෙය යි.

රෝගියාට, ඇගේ ලියුකේමියා ප්‍රතිකාරයේ කොටසක් ලෙස පෙකණි වැලේ රුධිර සෛල බද්ධයක් සිදුකර ඇති අතර, එතැන් සිට ඇයට HIV සඳහා වන ප්‍රතිරෙට්‍රෝවෛරස ප්‍රතිකාරය ලබාගැනීමට අවශ්‍ය නොවීය.

මෙම සිද්ධිය, පිළිකා සහ බරපතල රෝගවලට ප්‍රතිකාරයක් ලෙස එම ආකාරයේ පටක බද්ධයක් සිදුකෙරුණු HIV ආසාදිත පුද්ගලයින් පිළිබඳ එක්සත් ජනපදයේ සිදුකෙරෙන විශාල අධ්‍යයනයක කොටසකි.

බද්ධ කිරීම සඳහා තෝරාගත් සෛලවල නිශ්චිත ජාන විකෘතියක් ඇති අතර, එයින් අදහස් වන්නේ ඒවාට HIV වෛරසය ආසාදනය නොවන බව යි.

විද්‍යාඥයින් විශ්වාස කරන්නේ, මෙහි ප්‍රතිඵලයක් ලෙස පටක ප්‍රතිග්‍රාහකයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට HIV ප්‍රතිරෝධයක් වර්ධනයකර ගත හැකි බව යි.

HIV සුවවීම් පිළිබඳ සියලුම සිද්ධීන් සැබවින්ම විශිෂ්ට වන අතර, ඒවා සැමරීමට තරම් වැදගත් වේ. මන්ද, එය සුවකළ හැකියැ යි ඉන් ඔප්පු වන බැවිනි.

නමුත් මෙම ප්‍රවේශය HIV ආසාදිත මිලියන 37ක ජනතාවකට (මෙයින් වැඩිදෙනා උපසහරානු අප්‍රිකාවේ වෙසෙයි) සුබාරංචියක් නම් නොවේ.

මූලික සෛල බද්ධයේ සාර්ථක බව පැහැදිලි කෙරුනේ, 2007 දී තිමෝති රේ බ්‍රවුන් නමැති HIV ආසාදිතයා එම රෝගයෙන් “සුවය ලැබූ” පළමු පුද්ගලයා බවට පත්වීමෙනි. ඔහුට ස්වභාවිකවම HIVවලට ඔරොත්තු දෙන පරිත්‍යාගශීලියෙකුගෙන් සෛල බද්ධ කෙරිණි.

ඉන් පසු එය නැවත සිදුකෙරුණේ දෙවරක් පමණි. ඒ, ඇඩම් කැස්ටිලෙහෝ නම් තැනැත්තාට සහ නිව්යෝර්ක්හි මෙම රෝගියාට ය.

ඒ තිදෙනාටම පිළිකාවක් වැළඳී තිබූ අතර, ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමට මූලික සෛල බද්ධ කිරීමක් අවශ්‍ය විය. ඔවුන්ගේ HIV ආසාදනය සුව කිරීම කිසි විටෙක මූලික ඉලක්කය නොවූ අතර, මෙම ප්‍රතිකාරය HIV ආසාදිත සෑම කෙනෙකුටම භාවිතා කිරීමට නොහැකි තරම් අවදානම්සහගත ය.

නමුත් මතක තබාගත යුතු කරුණ වන්නේ, ප්‍රතිවෛරස ප්‍රතිකාර මඟින් HIV ආසාදිත පුද්ගලයන්ට සාමාන්‍ය ආයු අපේක්ෂාවක් ලබාදෙන බව යි.

HIVවලට ප්‍රතිකර්මයක් සෙවීමේ පර්යේෂණවල ප්‍රධාන ඉලක්කය වන්නේ ශරීරයෙන් වෛරසය ඉවත්කළ හැකි එන්නත් හෝ ඖෂධ සැකසීම ය.

පෙර සිදුවීම් දෙකේ දී, ඇටමිදුළු බද්ධ කිරීමේ කොටසක් ලෙස රෝගීන්ට වැඩිහිටියන්ගේ මූලික සෛල ලැබුණ ද, මෙම කාන්තාවගේ ප්‍රතිකාරයට පෙකණි වැල රුධිරය සම්බන්ධව තිබේ.

පෙකණි වැල රුධිරය කලින් භාවිතා කරන ලද වැඩිහිටි මූලික සෛලවලට වඩා බහුල ලෙස ලබාගත හැකි අතර, එයට පරිත්‍යාගශීලියා සහ ලබන්නා අතර සමීප ගැලපීමක් තිබීම අවශ්‍ය නොවේ.

ජාත්‍යන්තර ඒඩ්ස් සංගමයේ සභාපති ලෙස තේරී පත්වූ ෂැරන් ලෙවින් අනතුරු ඇඟවූයේ මෙම අවස්ථාවේ දී භාවිතා කළ ක්‍රමය HIV ආසාදිත බොහෝදෙනෙකුට උචිත ප්‍රතිකාරයක් නොවන බව යි.

නමුත් මෙම සිද්ධිය “HIV සඳහා ප්‍රතිකාරයක් සොයාගත හැකි බව තහවුරු කරනවා වගේම HIV සුව කරන්න ජාන චිකිත්සාව සාර්ථක උපාය මාර්ගයක් බවට තවදුරටත් ඔප්පු කරනවා,” ඇය පැවසුවා ය.

මෙම නවතම සිදුවීම සම්බන්ධ සොයාගැනීම් තවමත් විද්වතුන් සමාලෝචනය කරන සඟරාවක ප්‍රකාශයට පත්කර නොමැති බැවින් පුළුල් විද්‍යාත්මක අවබෝධය තවමත් සීමිත ය.

BBC